සෙලින්කෝ ලයිෆ් පිට පිටම තුන්වන වසරටත් ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස නම් වෙයි

    August, 3, 2016

    ගෝලීය ආර්ථිකය සහ මූල්‍ය කර්මාන්තය පිළිබඳ ගෞරවණීය සඟරාවක් වන ‘වර්ල්ඞ් ෆයිනෑන්ස්’ විසින් සිදුකළ ගැඹුරු තක්සේරුවකින් පසුව පිට පිටම තුන්වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් නම් කර තිබේ.

    ජාත්‍යන්තර කීර්තියට පත් මෙම සඟරාවේ විශේෂඥ මඩුල්ල විසින් 2016 වසරේ ජයග‍්‍රාහකයින් ප‍්‍රකාශයට පත්කිරීමට පෙර 2015 මූල්‍ය වසරට අදාළ ජීවිත රක්ෂණ අංශයේ විශේෂ කාර්ය සාධනයන් පිළිබඳව බහුවිධ අංශ නියෝජනය වන පරිදි විශ්ලේෂණයක් සිදුකරන ලදී.

    මෙම සඟරාව විසින් සිදුකළ තක්සේරුවේදී ප‍්‍රාරක්ෂණය කිරීමට සහ රක්ෂණ ඔප්පුවක් නිකුත් කිරීමට යන සාමාන්‍ය කාලය, අවධානම් අනාවරණය තක්සේරු කර තිබෙන ආකාරය, මාස 12 ක විමර්ශන කාලය තුළදී ලබා තිබෙන ජයග‍්‍රහණ, නව සහ සිටින ගනුදෙනුකරුවන් සඳහා සුදුසු ආවරණයක් ලබාදී තිබෙන ආකාරය, පාරිභෝගිකයින් රඳවා ගැනීමේ අනුපාතය, වන්දි ගෙවීමට සඳහා ගතවන සාමාන්‍ය කාලය, නව ගනුදෙනුකරුවන් බඳවා ගැනීමේ අනුපාතය, රක්ෂණ ඔප්පුවක් සහ ශුද්ධ රක්ෂණ වාරික සඳහා සාමාන්‍ය පිරිවැය යන කරුණු පිළිබඳව අවධානය යොමුකර තිබේ.

    ‘‘ජීවිත රක්ෂණ සමාගමක නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මක තත්ත්වය වගේම මෙහෙයුම් කාර්යක්ෂමතාවය පිළිබඳව නිවැරදි අවබෝධයක් මෙම දර්ශක මගින් සපයනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. ‘‘ස්වාධීන ආයතනයක් විසින් ඉතාමත් තියුණු ලෙස ඇගයීමට ලක්කරමින් කාර්ය සාධනය පිළිබඳව ලබාදුන් මෙවැනි සහතිකයක් ඕනෑම සමාගමකට වටිනවා. මෙම ඇගයීමේදී අප විසින් ඉතාමත් ඉහළ සමත්කමක් දක්වා තිබෙන අතර, මෙරට ජීවිත රක්ෂණ අංශයේ පිට පිටම තුන්වන වසර සඳහාත් හොඳම සමාගම බවට පත්වීම විශේෂිතයි.’’

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමාගමේ ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබඳව ඉතාමත් ඉහළ සහතික කිරීමක් වන ‘වර්ල්ඞ් ෆයිනෑන්ස්’ සම්මානය ඉතා වැදගත් මිණුම් ලකුණක් බවයි.

    පිට පිටම 12 වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ අංක එකේ ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීමට සෙලින්කෝ ලයිෆ් 2015 වසරේදී සමත්වූ අතර එම මූල්‍ය වසර සඳහා සමාගම රුපියල් බිලියන 19.89 ක සමස්ත ආදායමක් වාර්තා කළේය. මෙහිදී, රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 13.4 ක්වූ අතර අදාළ වසර සඳහා රුපියල් බිලියන 2.060 ක ශුද්ධ ලාභයක් සමාගම විසින් වාර්තා කරන ලදී. මේ අතර, මෙම වසරේදී සමාගමේ ආයෝජන කළඹ රුපියල් බිලියන 67.1 ක් දක්වා වර්ධනය වූ අතර වත්කම් රුපියල් බිලියන 80.2 ක් දක්වා ඉහළ නැගුණි. රුපියල් බිලියන 5.9 ක ප‍්‍රතිලාභ රක්ෂණ ඔප්පුහිමියන්ට ගෙවීමට සමාගම මේ වසරේදී කටයුතු කළේය.

    මෙම සම්මාන ලාභීන් ඒ ඒ ක්ෂේත‍්‍රවල සහ ඒ ඒ රටවල සුපිරිතම සමාගම් යැයි ස්ථීර කිරීම සඳහා දිනයේ පැය විසිහතර පුරාම සේවය කරන සමීක්ෂණ කණ්ඩායමක සහාය ඇතිව ක‍්‍රියාත්මක වන වර්ල්ඞ් ෆයිනෑන්ස් විනිශ්චය මඩුල්ල මූල්‍ය සහ ව්‍යාපාරික ජනමාධ්‍යවේදය ක්ෂේත‍්‍රයෙහි අවුරුදු 200කට අධික සාමූහික පළපුරුද්දක් නියෝජනය කරයි.

    සඟරාව විසින් 2007 වසරේදී ආරම්භ කළ මෙම සම්මාන වැඩසටහන මගින් සෑම වෙළඳ පොළක් පිළිබඳව ඉතා ඉහළ පුළුල් විශ්ලේෂණයක් කරනු ලබයි. විනිශ්චය මණ්ඩලය විසින් මෙම විනිශ්චයන් කිරීමේදී සමාගමේ ප‍්‍රමාණය වැනි ක‍්‍රමවේදයන් පිළිබඳව පක්ෂාග‍්‍රාහීත්වය දැක්වීමෙන් වැලකී සිටිය යුතුවේ.

    1998 වසරේ ජනවාරි මාසයේ සිට මෙහෙයුම් ආරම්භ කළ සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක්වේ.