රාජ්‍ය ආයතන 200+ කට ඩිජිටල් ගෙවීම් සඳහා GovPay රුපියල් බිලියන 1 ක දායකත්වයක් ලබා දෙයි

    November, 4, 2025

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay ගනුදෙනු සඳහා රුපියල් බිලියන 1 ඉක්මවමින් රට පුරා රාජ්‍ය ආයතන 200 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගැනීමට සමත් වූ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද නිවේදනය කළේ ය.

    2025 පෙබරවාරි මාසයේදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නායකත්වය යටතේ දියත් කරන ලද GovPay, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සමඟ සහයෝගයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධීක්ෂණය යටතේ LankaPay විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙම වේදිකාව පුරවැසියන්ට, රජයේ ආයතනවලට ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් කිරීමට, ගනුදෙනු ක්‍රියාවලීන් සරල කිරීමට, ලේඛන කටයුතු ඉවත් කිරීමට සහ සේවා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට හැකියාව ලබා දෙයි.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, ගරු. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසුවේ,

    “ඩිජිටල් වශයෙන් බලගැන්වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අපගේ රජයේ නොසැලෙන කැපවම සම්බන්ධයෙන් මෙම ජයග්‍රහනය හොඳම සාක්ෂියක්. තාක්‍ෂණය මඟින් පුරවැසියන්ගේ ජීවිත සරල කිරීම, විනිවිදභාවය වැඩි කිරීම සහ රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමට හැකි ආකාරය GovPay මගින් පෙන්වා දී තිබෙනවා. ඩිජිටල් අනාගතයක් වෙනුවෙන් යන ගමනේදී , සෑම පළාතකම සෑම පුරවැසියෙකුටම මෙම පරිවර්තනයෙන් ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම අපගේ අරමුණයි.” බවයි.

    ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ICTA හි සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා අදහස් දක්වමින් “මෙම ජයහ්‍රහනය අපට පිළිබිඹු කරන්නේ සාර්ථකත්වය පමණක් නොව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය කෙරෙහි පුරවැසියන් සහ ආයතනවල වර්ධනය වෙමින් තිබෙන විශ්වාසය යි . GovPay විනිවිද පෙනෙන, කාර්යක්ෂම සහ සියලු දෙනා ඇතුළත් ඩිජිටල් ආර්ථිකයක් සඳහා අඩිතාලම ගොඩනඟමින් සිටී.” යනුවෙනි.

    මෙම දැවැන්ත ජයග්‍රහනයේ කොටස්කරුවෙකු වශයෙන් LankaPay හි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පෙන්වා දුන්නේ: “GovPay දැන් වේගයෙන්ම වර්ධනය වන ජාතික ඩිජිටල් සේවාවක් බවට පත්ව ඇති බව සඳහන් කිරීම අතිශයින්ම සතුටට කරුණක්, එය මාස 8 කට පෙර ආරම්භ වනවිට අප සමඟ එක්ව සිටියේ ආයතන 16 ක් පමණයි. පුරවැසියන්ට රජයේ ආයතනවලට ඩිජිටල් ගෙවීම් භාවිතා කිරීම සඳහා වඩාත් පහසු අවස්ථාවක් ලෙස හඳුන්වා දෙමින් ජනතාව අතරට ගෙනයාමේ විශ්වාසයකින් යුතුව ක්‍රියාත්මක කරන ලදී. මෙම දැවැන්ත සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ලෙස සක්‍රීය සහ පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවාවක් කරා යන ගමන සම්බන්ධයෙන් වන යහපත් ලකුණක් වනු ඇත .” වශයෙනි

    අද වන විට, GovPay අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශ්ව විද්‍යාල, රෝහල් සහ පළාත් පාලන ආයතන හරහා රාජ්‍ය සේවාවන් 3,000 කට අධික සංඛ්‍යාවක් සඳහා පහසුකම් සපයන අතර පුරවැසියන්ට මාර්ගගත හෝ ජංගම බැංකුකරණය සහ FinTech වේදිකා හරහා සෘජුවම ගෙවීම් කළ හැකිය.

    GovPay මාර්ගගත රථවාහන දඩ ගෙවීම් පද්ධතිය වැනි ඉදිරි ඒකාබද්ධ කිරීම් සමඟ පුළුල් වන විට, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ICTA සහ LankaPay ආයතනය මඟින් පුරවැසි කේන්ද්‍රීය, දූෂණයෙන් තොර සහ නව්‍ය ඩිජිටල් රාජ්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය දායකත්වය ලබාදෙනු ඇත.