September, 10, 2026
ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය කරනු ලබන 8 වන කොළඹ ජාත්‍යන්තර සමුද්‍රීය සහ සැපයුම් සම්මන්ත්‍රණය (CIMC) 2026 සැප්තැම්බර් 9 වන දින කොළඹ දී නිල වශයෙන් ආරම්භ විය.
එහි සමාරම්භක සැසිය අමතමින් ප්‍රධාන අමුත්තෙකු ලෙස සහභාගී වූ වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේ, ජාත්‍යන්තර සැපයුම් දාමයන් සුරක්ෂිත කිරීම සඳහා රට සතු සුවිශේෂී භූගෝලීය වාසි උපරිමයෙන් භාවිත කිරීමට රජය සූදානම් බවයි.
මෙම සමුළුවේ සුවිශේෂීම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ඇමරිකානු ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) සභාපතිනී ලෝරා ඩිබෙල්ලා මහත්මිය (Laura DiBella) දකුණු ආසියානු සමුළුවක් ඇමතූ පළමු අවස්ථාව ලෙස මෙයට එක් වූවාය. ඇය ජාත්‍යන්තර මුහුදු ප්‍රවාහන නියාමන රාමුවල වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළාය.
මීට අමතරව, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ් මහතා, දේශමාන්‍ය කරු ජයසූරිය මහතා සහ CIMC හි නිර්මාතෘ සභාපති රොහාන් මාසකෝරාල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.
මෙම සමුළුවට සමුද්‍රීය සහ ලොජිස්ටික් ක්ෂේත්‍රයේ දේශීය සහ විදේශීය නියෝජිතයින් සහභාගී වන අතර, ශ්‍රී ලංකාව තුළ එම කාර්යයන් සිදු කිරීමේ කාර්යක්ෂමතාව, තාක්ෂණය භාවිතය සහ අනෙකුත් උපාය මාර්ග පිළබඳ වැඩිදුරටත් අධ්‍යයනයක් ලබා ගැනීමට හැකි වනු ඇත. මෙවර සමුළුවේ තේමාව වනුයේ Building a world around us" (අප වටා ලෝකයක් ගොඩනැගීම) යන්නයි.
Video Story