තෙල් සංස්ථාවේ ලාභය 17.9%කින් පහළට

    November, 6, 2025

    2025 වසරේ පළමු මාස 06 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකළ ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදනයන් හි ආනයනික පිරිවැය 2024 වසරේ සමාන කාලපරිච්ඡේදයේ වූ ඇමරිකන් ඩොලර් මිලියන 1,235ට සාපේක්ෂව ඇ.ඩො. මිලියන 1,040ක් දක්වා අඩුවිය. මෙම පහත වැටීමට මූලික වශයෙන් හේතු වූයේ ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටීම සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ ඉහළ යාමයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විකුණුම් පිරිවැය 2024 වසරේ පළමු භාගයේ දී වාර්තා කළ රු. බිලියන 467.7ට සාපේක්ෂව 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී රු. බිලියන 377.9ක් දක්වා සියයට 19.2කින් අඩුවිය.

    ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිවැටුම ද 2024 වසරේ පළමු මාස හය තුළ පැවති රු. බිලියන 544.3ට සාපේක්ෂව 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී රු. බිලියන 439.5ක් දක්වා සියයට 19.3කින් කැපීපෙනෙන පහළ යාමක් අත්දකින ලදී. මෙම ප්‍රවණතාවයන් පිළිබිඹු කරමින්, 2024 වසරේ පළමු මාස හයෙහි ශුද්ධ ලාභය වූ රු. බිලියන 20.7ට සාපේක්ෂව 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයේ ශුද්ධ ලාභය රු. බිලියන 17ක් දක්වා සියයට 17.9කින් පහත වැටී ඇත.

    මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2025 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.