November, 6, 2025
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සිය 38 වන සංවත්සරය 2025 ඔක්තෝබර් 30 වන දින කොළඹ කොටස් හුවමාරුවේ (CSE) වෙළෙඳ භූමියේදී දෛනික ගණුදෙනු ආරම්භ කරමින් සීනුව නාද කිරීමේ උත්සවයකින් සමරනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් හුවමාරුවෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම ආයතන දෙකෙහිම කාර්ය මණ්ඩල නියෝජිතයින්ද සහභාගී විය.
උත්සවය ආරම්භ වූයේ කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දිමුතු අබේසේකර මහතාගේ පිළිගැනීමේ අදහස් දැක්වීමත් සමඟ වන අතර, ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අතර අඛණ්ඩ හවුල්කාරිත්වය ඉස්මතු කළේය. ඔහුගේ අදහස් දැක්වීමේදී ඔහු මෙසේ පැවසීය:
"අද දිනය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. වසර 38 ක් තිස්සේ, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අපගේ ස්ථිර හවුල්කරුවා වූ අතර , සියලුම වෙළෙඳපොළ පාර්ශවකරුවන්ට සහාය වීම සඳහා තීරණාත්මක නායකත්වය, මග පෙන්වීම සහ අධීක්ෂණය සපයා දී තිබෙනවා." යනුවෙන් ඔහු පැවසීය.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා විසින් උත්සව සභාව ආමන්ත්‍රණය කළ අතර, ඔහුගේ කථාව තුළින් පසුගිය වසර 38 තුළ කොමිසම විසින් අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණ, විනිවිදභාවය සහ ආයෝජකයින්ට හිතකර සුරැකුම්පත් වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සඳහා එහි කැපවීම පිළිබිඹු කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා සුදුසු නෛතික හා ආයතනික රාමුවක් හඳුන්වා දීම සඳහා 1987 දී අංක 36 දරන පනත යටතේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවන ලද බව ඔහු සිය කතාවේදී සඳහන් කළේය. සංශෝධන කිහිපයක් සමඟ වසර 30 කට වැඩි කාලයක් එම පනත ක්‍රියාත්මක වූ අතර, එම පනත සම්පූර්ණයෙන්ම අවලංගු කර 2021 වර්ෂයේදී, 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත සමඟින් ප්‍රතිස්ථාපනය කරන ලද බවත් පැවසීය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ජාත්‍යන්තර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා සංවිධානයේ (IOSCO) සාමාජිකයෙකු බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවට සුදුසු ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනය සහ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
පොදුවේ සළකා බලන විට වැරදි මතයක් සමාජය තුළ මතුවී තිබෙන බව සඳහන් කරමින් සභාපතිවරයා අවධාරණය කළේ "සමහරු විශ්වාස කරන්නේ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිදුකරන්නේ වෙළෙඳපොළ නියාමනය පමණක් බවයි. කෙසේ වෙතත්, මෙය නිවැරදි දැක්ම නොවේ. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සුරැකුම්පත් වෙළෙඳපොළේ එක් කොටස්කරුවෙකු පමණයි. නිකුත් කරන්නන්, ආයෝජකයින්, වෙළෙඳපොළ මෙහෙය වන්නා ලෙස කොළඹ කොටස් හුවමාරුවත්, කොටස් තැරැව්කරුවන් සහ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ආදිය නොමැතිව වෙළෙඳපොළක් පැවතිය නොහැකියි. අපි සමස්ත සුරැකුම්පත් පරිසර පද්ධතියේ එක් කොටසක් පමණයි."
දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ සුභසිද්ධිය ආරක්ෂා කරමින් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තීය ප්රමිතීන් ආරක්ෂා කරමින් සාධාරණ, ක්‍රමවත්, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, පවත්වාගෙන යාම සහ නියාමනය කිරීමේ එහි ආයතනික මෙහෙවරට සුරැකුම්පත් කොමිසමේ උත්සාහයන් සම්බන්ධ වී ඇති බව සභාපතිවරයා නැවත තහවුරු කළේය.
"මෙය ඵලදායී ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනයේ කලාපයේ ප්රමුඛයෙකු වීමේ අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට මග පාදනවා," ඔහු පැවසීය.
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ද්විත්ව අවධානය පිළිබඳව මතු වී ඇති ගැටළු වලටද පිළිතුරු දෙමින් සභාපතිවරයා ප්‍රකාශ කළේᱺ "වර්තමාන වෙළෙඳපොළ වාතාවරණය දෙස අවධානය යොමුකරන අයෙකුට අප විසින් සිදුකරන්නේ වෙළෙඳපොළ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම පමණක් යැයි සිතිය හැකියි. ඒ් වගේම අපට නියාමනය අමතක වී ඇති බවට සමහර පාර්ශවකරුවන්ට හැඟීමක් ඇති විය හැකියි. එහෙත් එය එසේ නොවේ. අපගේ නියාමන කාර්යභාරය අපි කිසි විටෙකත් අමතක කර නැති බව මම නිශ්චිතවම ප්‍රකාශ කිරීමට කැමැතියි."
"අපගේ සියලුම නියාමනයට ලක්වන ආයතනවල නිලධාරීන්ට මම ආරාධනා කරනවා, අප සමඟ හවුල් වී සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය සඳහා නව ආඩම්බරයකින් හා ශක්තියකින් කටයුතු කිරීමට එක්වන ලෙස" යැයි සඳහන් කරමින් සභාපතිවරයා සිය කථාව අවසන් කළේය.
සැමරුම් උත්සවයේ කොටසක් ලෙස, විනිවිදභාවයෙන් යුත් සහ ආයෝජක-හිතකාමී සුරැකුම්පත් වෙළෙඳපොළක් ප්‍රවර්ධනය කිරීමේදී ආයතන දෙක අතර දිගුකාලීන හවුල්කාරිත්වය සහ සහයෝගී උත්සාහයන් සංකේතවත් කරමින්, කොළඹ කොටස් හුවමාරුව විසින් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත විශේෂ සිහිවටනයක්ද ප්රදානය කරන ලදී.
Video Story