November, 21, 2025
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා අර්ධ-රාජ්‍ය ආයතනවල නිලධාරීන් 800කට අධික පිරිසක් වාර්ෂිකව මහජන චීනයේ ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වන අතර, මෙම වසරේ එම වැඩසටහන්වලට සහභාගී වූ නිලධාරීන්ගේ පිළිගැනීමේ උත්සවයක් ඊයේ (20) සවස නෙළුම් කුලුන මූන්වෝක් උත්සව ශාලාවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ China Aid Training Alumni Association එක්ව සංවිධානය කළ මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ජන්හොං මහතා සහ ආර්යාව ජින් චියැන්, කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යප්පෙරුම මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.
"ගෝලීය පාලන මුලපිරීම්" තේමාව යටතේ පවත්වන ලද මෙම උත්සවයේදී චීන තානාපතිතුමා මුඛ්‍ය දේශනය පවත්වන අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ද, China Aid Training Alumni Association සභාපති සංජීව විමලගුණරත්න මහතා ද දේශන පවත්වන ලදී. මෙම දේශනවලදී ශ්‍රී ලංකාව හා මහජන චීනය අතර දශක ගණනාවක් පුරා පැවති සහයෝගිතාවයේ වැදගත්කම, අනාගතයේ දී ද එම සහයෝගිතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
පරිපාලන කටයුතු, වරාය කළමනාකරණය, නවීන කෘෂිකර්මාන්තය, ඩිජිටල් යාන්ත්‍රණය වැනි විවිධ ක්ෂේත්රවලින් පුහුණුව ලබා ආපසු පැමිණි නිලධාරීන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට සහයෝගය දක්වන ආකාරය පිළිබඳව ද අනාවරණ කෙරිණි. China Aid Training Alumni Association යනු චීනයේ පුහුණු වැඩසටහන්වලට සහභාගී වී ආපසු පැමිණි ශ්‍රී ලාංකික නිලධාරීන්ගේ ජාලයක් වන අතර, එම අත්දැකීම් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම අපේක්ෂාවයි.
Video Story