කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට වාසිදායක නොවූ සතියක් අවසන්

    November, 21, 2025

    ගෙවී ගිය සතිය තුළ සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (21) දිනයේ දී වාර්තා වුණි. අද දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය නොවැම්බර් 04 දිනෙන් පසු ප්‍රථම වරට ඒකක 23,000 සීමාවෙන් මෙපිටට පැමිණ ඒකක 22,982.72 ක් ලෙසින් සටහන් වූයේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 122.24ක පහළ යාමක් සටහන් කරමිනි.

    S&P SL20දර්ශක අගය ද දිනය තුළ පහළ යාමක් වාර්තා කළ අතර ඒකක 17.57කින් පහළ ගොස් දිනය අවසානයේ දී එය ඒකක 6,364.61ක් ලෙසින් දැක්වුණි.

    රු. බිලියන 3.81ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.

    මෙම සතිය තුළ ඊයේ (20) දිනය හැරෙන්නට සෙසු ගනුදෙනු දින 4 තුළ දීම සියලු කොටස් මිල දර්ශකයෙහි පහළ යාම් වාර්තා තිබුණේ ආයෝජකයින් යම් ආකාරයක පසුබෑමකට ලක්කරමිනි. සමස්තයක් ලෙස මෙම සතිය තුළ සියලු කොටස් මිල දර්ශකයේ 2%ක පහළ යාමක් වාර්තා වී තිබේ.

    කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වූ ඒකක 23,659.70, පසුගිය සතියේ නොවැම්බර් 12 දින වාර්තා වූ අතර එතැන් සිට ගෙවී ගිය ගනුදෙනු දින 7 තුළ දින 6ක දීම සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාම් වාර්තා වි ඇත.

    පූර්ව සතියට සාපේක්ෂව මෙම සතිය තුළ දෛනික පිරිවැටුම් මට්ටම් ද පහළ අගයයක විය. මෙම සතිය තුළ එක් එක් දිනයෙහි වාර්තා වූ පිරිවැටුම් අගයයන් පහත පරිදි වේ.

    නොවැම්බර් 17 - රු. බිලියන 4.45

    නොවැම්බර් 18 - රු. බිලියන 4.43

    නොවැම්බර් 19 - රු. බිලියන 3.81

    නොවැම්බර් 20 - රු. බිලියන 3.48

    නොවැම්බර් 21 - රු. බිලියන 3.81

    සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද මෙම සතිය තුළ රු. බිලියන 8,391.59 සිට රු. බිලියන 8,220.73ක් දක්වා රු. බිලියන 170.85කින් අඩු වී තිබේ.