කොටස් වෙළෙඳපොළ අද යළි නැගී සිටීමට වෙර දරයි

    November, 25, 2025

    ඊයේ (24) දිනයේ දී දැවැන්ත කඩාවැටීමකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන වර්ධනයක් අද (25) දිනයේ දී දැකගත හැකි විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 175.03ක වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගැනීමට සමත් වූ අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,819.91ක් ලෙසින් සටහන්ව තිබුණි.

    පසුගිය නොවැම්බර් 12 දා ඒකක 23,659.7ක ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමෙන් අනතුරුව ගෙවී ගිය ගනුදෙනු දින 9 තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් වාර්තා වූ දෙවන දිනය අදයි. මීට පෙර නොවැම්බර් 20 දා ඒකක 75.1කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය නමත් සෙසු ගනුදෙනු දින 9 පුරාවටම එහි පහළ යාමක් වාර්තා විය.

    මේ අතර S&P SL20 දර්ශකය ඒකක 19.06කින් ඉහළ ගොස් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,298.75ක් ලෙසින් සටහන්ව තිබුණි.

    අද දින රු. බිලියන 4.06ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

    දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.79ක් ලෙසින් අද දින සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 57ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 271ක් ලෙසින් දිනය තුළ වාර්තා වී තිබේ.