ශ්‍රී ලංකාවට විද්‍යුත් ඉන්වොයිසි ක්‍රමයක්

    December, 2, 2025

    ශ්‍රී ලංකාව තුළ දැනට තත්‍යකාලීන (real-time) විද්‍යුත් ඉන්වොයිසි පද්ධතියක් ක්‍රියාත්මක නොවන නමුත් බදු පද්ධති නවීකරණය කිරීම, බදු පැහැර හැරීම අඩු කිරීම සහ ව්‍යාපාර ගනුදෙනුවල විනිවිදභාවය වැඩි කිරීම සඳහා බොහෝ රටවල් විසින් විද්‍යුත් ඉන්වොයිසි බහුලව භාවිතා කරමින් සිටී.

    එබැවින්, අදාළ කරුණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වර්ධනයන් ද සැලකිල්ලට ගනිමින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු එකතු කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට (RAMIS) අනුකූල වන පරිදි විද්‍යුත් ඉන්වොයිසි රාමුවක් අනුගමනය කිරීම සඳහා ඇගයීමක් සිදු කිරීමට පියවර ගනු ලැබ ඇත.

    එම ඇගයීමේදී තහවුරු වී ඇති කරුණු මත පදනම්ව, විද්‍යුත් ඉන්වොයිසි ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ආරම්භක අදියර ලෙස ආරක්ෂිත වෙබ් යෙදුම් ක්‍රමලේඛන අතුරු මුහුණත (Web Application Programming Interface - Web API) පහසුකමක් හඳුන්වා දීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, වැට් ලියාපදිංචි පුද්ගලයින් සඳහා Web API පහසුකම සලසා දීමට හැකි වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වැඩිදියුණු කිරීම පිණිස සිංගප්පූරුවේ NCS Solutions Pvt. Limited වෙතින් අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.