පොලී රහිත ශිෂ්‍ය ණය ලබා ගැනීමේ දී ඇපකරුවන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තිබූ බාධාවක් ඉවතට

    December, 3, 2025

    උසස් පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල රජයේ පිළිගත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා 2017 වසරේ සිට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරනු ලැබ ඇත. එකී පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය අනුව මේ වන විට බඳවා ගැනීම් නවයක් යටතේ සිසුන් 23,162ක් සඳහා ප්‍රතිලාභ ලබා දී ඇති අතර, එම සිසුන් අතරින් සිසුන් 5,772ක් මේ වන විට සිය උපාධිය හදාරා අවසන් කර තිබේ.

    එම ණය යෝජනා ක්‍රමයේ පළමු අදියරේ සිට හයවන අදියර දක්වා ඇපකරුවන් වශයෙන් සිසුන්ගේ මව/පියා හෝ භාරකරු සමඟ සමීප ඥාතියෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇත. එහෙත්, එම කොන්දේසි 2022 වර්ෂයේ සිට ණය ඉල්ලුම් කරනු ලබන සිසුන් විසින් පළමු ඇපකරු වශයෙන් මව/පියා හෝ භාරකරු ද, දෙවන ඇපකරු වශයෙන් බැංකුව විසින් තීරණය කරනු ලබන ආදායම් සහිත අයෙකු ද ඉදිරිපත් කළ යුතු බවට සංශෝධනය කරනු ලැබ ඇත. ඒ හේතුවෙන්, එම ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍යයෙන්ම ණය ලබා ගත යුතු සිසුන් අපහසුතාවට පත් වන බවට වාර්තා වී තිබේ.

    2026 වර්ෂයේ අයවැය යෝජනා සම්බන්ධයෙන් පැවති මූලික රැස්වීමේදී එම ණය යෝජනා ක්‍රමය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමටත්, එහිදී සිසුන්ට බාධාවක් ඇති නොවන අයුරින් ඇපකරුවන් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව, එකී ණය යෝජනා ක්‍රමයේ 9වන අදියරේ සිට නැවත මව/පියා හෝ භාරකරු පළමු ඇපකරු ලෙසත්, සමීප ඥාතියෙකු දෙවන ඇපකරු ලෙසත් ඉදිරිපත් කර සිසුන් වෙත ණය මුදල් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.