December, 31, 2025
2026 ජනවාරි 01 වන දා සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ලංකාසෙක්‍යු අංශය, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පවරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
රාජ්‍ය ණය කළමනා කරණ කාර්යාලය, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතට අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ස්ථාපිත කරන ලදී. 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට මෙම කාර්යාලය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් රාජ්‍ය ණය කළමනා කරණය සම්බන්ධයෙන් සිදු කරන ලද සියලුම කාර්යයන්හි සම්පූර්ණ වගකීම රාජ්‍ය ණය කළමනා කරණ කාර්යාලය වෙත පැවරේ.
ආයතනික වගවීම ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනා කරණ රාමුවේ කාර්යක්ෂමතාව හා විනිවිදභාවය වැඩි දියුණු කිරීමේ අරමුණු කර ගනිමින් මෙම වගකීම් පවරා දීම සිදු කරන ලදී.
රාජ්‍ය ණය කළමනාකරණ පනතේ සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අදාළ විධිවිධාන වලට අනුව, 2026 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාජ්‍ය සුරකුම්පත්හි ලේඛකාධිකාරී ලෙස පත් කර ඇති අතර, රාජ්‍ය සුරැකුම්පත් සඳහා වු නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය සහ රාජ්‍ය සුරැකුම්පත් සඳහා වූ මධ්‍යම තැන්පතු පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.
Video Story