2025 නොවැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්

    January, 1, 2026

    ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 66.2ක අගයක් වාර්තා කළේය.

    මාසයේ අවසන් භාගයේ දී කාලගුණය ආශ්‍රිත බාධාවන් පැවතියද, බොහෝ සමාගම් මාසය තුළ ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළේය.

    නොවැම්බර් මාසයේදී නව ඇණවුම් දර්ශකය ද ඉහළ ගියේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් බොහෝ දෙනෙකු විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නව ව්‍යාපෘතිවල වැඩිවීමක් වාර්තා කරන ලදී.

    ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රමාණය අඛණ්ඩව ඉහළ යනු ඇති බවට එම ආයතනවල පවතින විශ්වාසය පිළිබිඹු කරමින්, සේවා නියුක්තිය  සහ තොග මිලදී ගැනුම් දර්ශක මාසය තුළ දී ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය නොවැම්බර් මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.