January, 2, 2026
2025 වර්ෂය තුළ කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදුකළ බහාලු ප්‍රමාණය වරාය ඉතිහාසයේ වැඩිම බහාලු සංඛ්‍යාව ලෙස වාර්තා ගත විය.
මෙම වසරේ එම ප්‍රමාණය බහාලු අසු දෙලක්ෂ අනූදාහක් වේ. (8,290,000) මෙම වාර්තාගත මෙහෙයුම කොළඹ වරාය තුළ ඇති බහාලු පර්යන්ත වන, වරාය අධිකාරිය සතු ජයබහලු පර්යන්තය (JCT), නැගෙනහිර බහාලු පර්යන්තය සහ අනෙකුත් පර්යන්තයන්ගේ සාමුහික ප්‍රයත්නයක් ලෙස සැලකිය හැකිය.
2024 වසරේ කොළඹ වරායේ මෙහෙයුම් සිදුකළ බහාලු ප්‍රමාණය 7,700,000 ක් වන අතර 2025 වසරේදී එම ප්‍රමාණය (6%) ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම වාර්තාගත මෙහෙයුම ඇගයීමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩ සටහනක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තයේ දී පැවැත්විණි.
නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු,අමාත්‍යාංශ ලේකම් W.W.S. මංගල යන මහත්වරුන් ද වරාය අධිකාරියේ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමඟ අනෙකුත් බහාලු පර්යන්ත ප්‍රධානීන් ද එම අවස්ථාවට සහභාගී වූහ.
කොළඹ වරාය කේන්ද්‍රීය වරායක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් 2026 වසරේ දී ප්‍රති නැව් ගත කිරීම් හා ලොජිස්ටික් පහසුකම් වැඩි දියුණු කිරීමට ද සැලසුම් කර තිබේ.
එමෙන්ම 2026 වසරේදී වරාය අධිකාරිය සතු නැගෙනහිර බහාලු ( ECT) පර්යන්තය සහ බටහිර පර්යන්තයේ (WCT) ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවීමත් සමඟ 2026 වසරේ දැවැන්ත බහාලු ප්‍රමාණයක් මෙහෙය වීමට කොළඹ වරායට හැකි වේ. එය 2026 වසරේ රටේ ආර්ථික වර්ධනයට විශාල රුකුලක් වනු ඇත.
මේ වන විට ලෝකයේ ප්‍රමුඛතම නාවික සමාගම් රැසක් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු ගැන සිය ප්‍රසාදය පළ කර ඇති අතර , එම නැව් සමාගම ද කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලට එක් වීමට නියමිතය.
අමාත්‍ය අනුර කරුණාතිලක මහතා 2025 වසරේ මේ කාර්යයට හවුල් වු වරාය අධිකාරියේ කළමනාකරණය සහ අනෙකුත් විදේශ බහාලු පර්යන්ත සමාගම් වල ප්‍රධානීන් ද අමාත්‍යාංශයට කැඳවා ඔවුන්ගේ 2026 වසරේ ඉදිරි සැලැස්ම ගැන කරුණු සාකච්ඡා කරනු ලැබුවේය.
එහිදී අමාත්‍යවරයා මෙම වාර්තාගත මෙහෙයුම නිසා රටේ ආර්ථිකයට ලැබුණු මූල්‍ය දායකත්වය ගැන සඳහන් කරමින් ඒ සඳහා කැපවුනු කළමනාකරණය සහ සේවක කාර්ය මණ්ඩලවල සියලු දෙනාටම රජය වෙනුවෙන් ස්තූතිය පුද කරනු ලැබුවේය.
තවද 2026 වසරේ අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙමින් සාර්ථක ප්‍රවර්ධනයක් ඇති කර ගැනීමට සහතික විය.
Video Story