2025 දී සංචාරක පැමිණීම 15%කින් වැඩිවෙද්දී සංචාරක ආදායම වැඩිවුණේ 1.6%කින්

    January, 12, 2026

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අනුව 2025 වසරේ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,362,521ක් වේ. එය මෙතෙක් ඉතිහාසයේ කැලැන්ඩර් වර්ෂයක් තුළ දී මෙරටට පැමිණි ඉහළම සංචාරකයින් ප්‍රමාණය වේ.

    එසේම 2024 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි 2,053,465 ක්වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා මෙය 15.1% ක ඉහළ යාමකි.

    මීට පෙර ඉහළම සංචාරක පැමිණීම 2018 වර්ෂයේ දී වාර්තා වූ අතර එය 2,333,796ක් ලෙසින් වාර්තා වී ඇත.

    මෙලෙස ඉතිහාසගත සංචාරකයින් ප්‍රමාණයක් 2025 වර්ෂයේ දී මෙටට පැමිණ තිබුණ ද, සංචාරකයින්ගේ පැමිණීමට සමගාමීව සංචාරක ඉපැයීම්වල වර්ධනයක් සිදු වී නොමැති බව නිරීක්ෂණය කළ හැකිය.

    දත්ත වාර්තාවලට අනුව 2024 වසරට වඩා 2025 වසරේ දී සංචාරක පැමිණීම 15.1%කින් ඉහළ ගොස් තිබුණ ද, සංචාරක ඉපැයීම් ඉහළ ගොස් ඇත්තේ ඩොලර් මිලියන 3,168.6 සිට ඩොලර් මිලියන 3,219.2ක් දක්වා 1.6%ක ප්‍රමාණයකිනි.

    එහිදී එක් සංචාරකයෙකු විසින් කරන ලද වියදමේ සාමාන්‍ය සැලකීමේ දී 2024 වසර තුළ මෙරටට පැමිණි එක් විදෙස් සංචාරකයෙකු ඩොලර් 1,543 ක් වියදම් කර තිබුණ ද, 2025 වසරේ දී එය ඩොලර් 1,362 ක් දක්වා පහත බැස තිබේ.

    මෙහිදී අවධානය දිය යුතු තවත් කරුණක් වන්නේ මීට පෙර ශ්‍රී ලංකාවට සංචාරකයින් වැඩියෙන්ම පැමිණි වසර වූ 2018 වසරේ දී සංචාරකයින් 2,333,796ක් මෙරටට පැමිණෙද් දී ඩොලර් මිලියන 4,380.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයක් එම වසර තුළ වාර්තා වී තිබීමයි. ඒ අනුව 2018 වසරේ දී මෙරටට පැමිණ තිබෙන එක් සංචාරකයෙකු වියදම් කර ඇති මුදල් ප්‍රමාණය ඩොලර් 1,877ක් ලෙසින් ගණනය කළ හැකි වේ.