හයිලන්ඩ් වෙතින් නව අයිස්ක්‍රීම් රසයන් රැසක් වෙළඳපොළට

    January, 13, 2026

    දිවයිනේ ප්‍රමුඛතම සුපිරි වෙළදසැල් ජාලයක් වන GLOMARK සුපිරි වෙළදසැල් ජාලය සමඟ අත්වැල් බැදගෙන නවතම අයිස්ක්‍රීම් බහලුම් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීම අද( 13) ලොන්ඩන් පෙදෙස GLOMARK සුපිරි වෙළදසැල් ශාඛාවේ දී මිල්කෝ සභාපති ජී.වී.එච්.ගෝඨාභය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරීණි.

    දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මිල්කො සමාගම දේශීය කිරි ගොවීන්ගෙන් පමණක් එකතු කරගන්නා කිරිවලින් සෞඛ්‍යාරක්ෂිත කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන හයිලන්ඩ් (Highland) සන්නාමය යටතේ දිවයින පුරා බෙදාහැරීම් කටයුතු සිදු කරනු ලබයි.මිල්කො සමාගමේ කිරි රස අනූන නිෂ්පාදනයක් වන හයිලන්ඩ් අයිස්ක්‍රීම් පාරිභෝගික ජනතාව අතර වඩාත් හොඳින් ප්‍රචලිත කිරීම සඳහා මෙතෙක් පැවති බහාලුම් වෙනුවට නව මාදිලියේ ආකර්ෂණීය බහාලුම්වල අසුරා වෙළදපළට සහ පාරිභෝගිකයින්ට හදුන්වා දීමත් නව රස වර් ග කීපයක් වෙළදපළට නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

    මින් ඉදිරියට GLOMARK ඇතුලු සියලුම දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් ජාලා තුළින් නව මාදිලියේ හයිලන්ඩ් අයිස්ක්‍රීම් සියලු පාරිභෝගිකයින්ට මීල දී ගත හැක.

    මෙම අවස්ථාවට එක්වූ මිල්කෝ සභාපති ජී.වී.එච්.ගෝඨාභය මහතා,

    “ශ්‍රී ලංකාවේ රජය සතු එකම කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනය වන මිල්කෝ (Milko) සමාගම මීට පෙර ඈවර කර සම්පූර්ණයෙන්ම විකුණා දැමීමේ අවදානමක පැවතියද, නව රජයේ වැඩපිළිවෙළ යටතේ ඉතා කෙටි කාලයකින් එය සම්පූර්ණ වෙනස් මානයකට ගෙන ඒමට හැකි වී තිබේ. මේ වන විට සමාගම මූල්‍යමය වශයෙන් ඉතා ස්ථාවර මට්ටමක පවතින අතර, ඒ හේතුවෙන් නව නිෂ්පාදන සඳහා ආයෝජනය කිරීමේ හැකියාවද අප සමාගම සතුව ඇත. හයිලඩ් (Highland) සන්නාමය යටතේ නව අයිස් ක්‍රීම් රස කීපයක් වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර, මේ වසරේදී තවත් නවෝත්පාදන කිහිපයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම, දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ බඩල්ගම කර්මාන්තශාලාව මේ වසරේදී ප්‍රතිසංස්කරණය ආරම්භ කර, ලබන වසරේ මුල් භාගය වන විට එහි නිෂ්පාදන කටයුතු ඇරඹීමටද අපේක්ෂා කෙරේ. සමාගම සම්පූර්ණයෙන්ම දේශීය කිරි ගොවීන්ගේ නිෂ්පාදන මත යැපෙන බැවින්, ඔවුන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරයි. මෙහි විශේෂ පියවරක් ලෙස, පසුගිය වසරේ කිරි ලබා දුන් සියලුම ගොවීන්ට පෙබරවාරි මාසයේ මුල් සති කිහිපය තුළ බෝනස් මුදලක් ලබා දීමට ද තීරණය කර ඇත."