January, 14, 2026
ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලාංකිකයින්ට හුදෙක් ක්‍රීඩාවක් පමණක්ම නොව, එය ජාතියේ හද ගැස්ම මෙන්, තරගයේ සෑම පන්දුවක් පාසාම උද්යෝගය ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ නොමඳව රඳවයි. එවන් පසුබිමක් තුළ, 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල ගුවන්විදුලි විකාශන සහකරු ලෙස FM දෙරණ කටයුතු කරන බව 2026 ජනවාරි මස 14 වන දින කොළඹ, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ Sea Festival ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන මෙම දැවැන්ත ගෝලීය ක්‍රිකට් සැණකෙළිය 2026 පෙබරවාරි 07 සිට මාර්තු 08 දක්වා පැවැත්වීමට නියමිත අතර, ක්‍රිකට් ලොව දැවැන්තයින් සහ කණ්ඩායම් සියල්ලම, ක්‍රීඩාව ජීවය කොටගත් මේ මව්බිම වෙත පැමිණ තරග වැදීමට නියමිතය.
FM දෙරණ ලද මෙම මහඟු අවස්ථාව සිය අභිමානවත් ගමන්මගෙහි තවත් එක් තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමකි. 2011 වසරේ පැවති ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය ලබා ගනිමින්, එවකට පැවති රජයේ මාධ්‍ය ඒකාධිකාරය බිඳ දමා සජීවී ක්‍රිකට් විකාශනය පෞද්ගලික ගුවන්විදුලි ක්ෂේත්‍රය වෙත හඳුන්වා දුන් මෙරට ප්‍රථම පෞද්ගලික ගුවන්විදුලි නාලිකාව වූයේ ද FM දෙරණයි. එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විකාශන ක්ෂේත්‍රය වඩාත් පුළුල්, තරගකාරී සහ ක්‍රීඩා ලෝලීන් කේන්ද්‍ර කරගත් අත්දැකීමක් බවට පත් කිරීමට FM දෙරණ සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.
දෛනික ජීවිතයේදී කුමන අකාරයේ කටයුතු වල නිරතව සිටියද, ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට් ක්‍රීඩාව සමඟ පවත්වන්නේ සමීප බැඳීමකි. මෙම ගැඹුරු බැඳීම හඳුනා ගනිමින්, මුළු දිවයිනම ආවරණය වන පරිදි තරගාවලියේ සෑම මොහොතකම සජීවී අත්දැකීම සහ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ආවේණික වූ ඒ සුවිශේෂී ජවය FM දෙරණ ඔස්සේ නිවසටම රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත. 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට අයත් තරග 55 ම 92.2 සහ 92.4 FM සංඛ්‍යාත ඔස්සේ දිවයින පුරා සජීවීව විකාශනය කෙරෙනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙරට වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීණ සහ අත්දැකීම් බහුල ක්‍රිකට් විචාරක මණ්ඩලයක් විසින් ක්‍රීඩා පිටිය තුළ ක්‍රියාවලිය පමණක් නොව, ඒ පිටුපස ඇති උද්යෝගය, ආඩම්බරය සහ තියුණු තරගකාරීත්වය ද ක්‍රීඩා ලෝලීන් වෙත සමීප කිරීමට කටයුතු කිරීමයි. සජීවී විස්තර විචාරයට අමතරව, හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් සහ විශේෂඥ පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් යුත් ගුවන්විදුලි සහ ඩිජිටල් වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම මාධ්‍ය හමුව සඳහා දෙරණ මාධ්‍ය ජාලයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ. ඒ අතර දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක මහතා, ප්‍රවීණ විචාරක බන්දුල සමන් වතුරේගම මහතා, FM දෙරණ වැඩසටහන් සාමාන්‍යාධිකාරී බණ්ඩාර විජේරත්න මහතා සහ FM දෙරණ අලෙවි සාමාන්‍යාධිකාරී රොෂාන් ප්‍රනාන්දු මහතා ද විය. මුළු මහත් ජාතියම යළිත් වරක් සිංහ ධජය යටතේ එක්ව ක්‍රිකට් උන්මාදයෙන් ලෙළදෙන මොහොතක, නිල ගුවන්විදුලි විකාශකයා ලෙස FM දෙරණ සෑම ජයග්‍රාහී හඬක්ම, සෑම තීරණාත්මක මොහොතක්ම සහ සෑම අභිමානවත් අවස්ථාවක්ම ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලී හදවත් වෙත සමීප කරනු ඇත. මන්ද, ලාංකිකයින්ට ක්‍රිකට් යනු හුදෙක් නරඹන ක්‍රීඩාවක් පමණක් නොව, එය ඔවුන්ගේ ජීවිතයයි.
Video Story