හේලීස් ෆෙන්ටන්ස් විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කළ අඩුම ලංසුව හරහා පෞද්ගලික අංශයේ විශාලතම සුළං බල ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කරයි

    January, 16, 2026

    මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් මෙම ව්‍යාපෘතිය හරහා හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය ශක්තිමත් කිරීමට කැප වෙයි.
    ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික සමූහය වන හේලීස් සමූහය ව්‍යාපාරයට අයත්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් වන් ලිමිටඩ් ආයතනය, මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක ධාරිතාවයෙන් යුත් සුළං බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
    එසේම මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රය සඳහා පෞද්ගලික අංශය විසින් සිදු කළ විශාලතම ආයෝජනය නියෝජනය කරයි.
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය පැවැත්වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සහ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමේ වැදගත්කම පැහැදිලිව අවධාරණයට ලක් කෙරිණි.
    ආනයනය කරන පොසිල ඉන්ධන හේතුවෙන් ශ්‍රී ලංකාවට නිතරම ආර්ථික සහ පාරිසරික අභියෝගයන්ට මුහුණදීමට සිදු වේ. මෙම මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය පරිසරය ආරක්ෂා කරමින් විදේශ විනිමය සුරකමින්, දේශීයව ජනනය කරන පිරිසිදු බලශක්තිය ශ්‍රී ලාංකික ජනතාවට සපයන ස්ථිරසාර පියවරක් වේ. මෙම ව්‍යාපෘතිය නිම වීමෙන් පසු, වසරකට රුපියල් බිලියන 4.7ක් පමණ ඉන්ධන වියදම ඉතිරි කරගැනීමට සහ වාර්ෂිකව කාබන්  පියසටහන ටොන් 186,300කින් පමණ අඩු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් පළ කරමින්, හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය:
    “වසර 148කට ආසන්න කාලයක් පුරා, හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ ජාතික ඉලක්කයන් සමඟ එකට එක්ව වර්ධනය වෙමින්, මෙරට ආර්ථිකයට, කර්මාන්ත වලට සහ ප්‍රජාවන්ට අර්ථවත් දායකත්වයක් ලබාදී තිබෙනවා. මෙම සුළං බලශක්ති ව්‍යාපෘතිය බලශක්ති ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට, පරිසරය ආරක්ෂා කිරීමට සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම හරහා ජාතියේ අනාගතය ගොඩනැංවීමට සිදු කරන ලද සුවිශේෂී ආයෝජනයක් ද වෙනවා. වගකිවයුතු ආයතනයක් ලෙස, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ස්ථාවරතාව සහ සෞභාග්‍යය හැඩගස්වන මෙවැනි ක්ෂේත්‍රවල පෙරමුණ ගැනීමට අප සැමවිටම කැපවී සිටිනවා.”
    මන්නාරම ප්‍රදේශයේ පවතින ප්‍රබල සුළං තත්ත්වය දිගු කාලයක සිට ස්වභාවික සම්පතක් ලෙස හඳුනාගෙන තිබුණි. මෙම ව්‍යාපෘතිය හරහා එය ජාතික සංවර්ධනයට දායක විය හැකි ස්වභාවික ජාතික සම්පතක් බවට පරිවර්තනය කෙරේ. මෙගාවොට් 50ක ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 5 බැගින් වූ සුළං ටර්බයින 10කින් සමන්විත වේ. මෙහි ජනනය කෙරෙන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සමඟ ඇති කරගත් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමක් යටතේ ජාතික විදුලිබල පද්ධතියට සැපයෙනු ඇත. මෙමඟින් මෙම ආයෝජනයේ වාණිජමය වැදගත්කම, මූල්‍යමය විශ්වාසනීයත්වය සහ තාක්ෂණික ශක්තිමත්භාවය තවදුරටත් තහවුරු වේ.
    මේ පිළිබඳ වැඩිදුර අදහස් පළ කරමින්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ පැවසීය:
    “පුනර්ජනනීය බලශක්තිය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. විධිමත් ඉංජිනේරු සැලසුම්, නවීන තාක්ෂණය සහ ශක්තිමත් ආයතනික රාමුවක් තුළින් පිරිසිදු බලශක්තිය මහා පරිමාණයෙන් ජනනය කළ හැකි බව මෙම ව්‍යාපෘතිය මඟින් මනා ලෙස තහවුරු කිරීමටද සමත් වෙනවා. මෙවැනි ආයෝජන මඟින් පෙනී යන්නේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය විශ්වාසදායක, මහා පරිමාණයෙන් ව්‍යාප්ත කළ හැකි, සහ අර්ථවත් ජාතික පරිවර්තනයකට රට මෙහෙයවිය හැකි ක්ෂේත්‍රයක් බවයි.”
    එසේම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර කරුණු පැහැදිලි කරමින්, හේලීස්
    සෝලා හි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය:
    “මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ව්‍යාපෘතියට සම්බන්ධ අභ්‍යන්තර හා බාහිර සියලු කරුණු කාරණාවන් ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් පසුව, අප අපට ලබා ගත හැකි වඩාත්ම කාර්යක්ෂම සුළං ටර්බයිනයක් ලෙස මීටර් 110ක උසකින් යුතු ටර්බයිනයක් තෝරාගනු ලැබුවා.මේ සියලු දෙයක් සමඟින්ම අපගේ ඉංජිනේරු හා ව්‍යාපෘති කළමනාකරණ විශේෂඥතාව සමඟ, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට අපි විශ්වාසයෙන් යුතුව බලාපොරොත්තු වෙනවා.”
    හේවින්ඩ් වන් සුළං බලාගාර ව්‍යාපෘතියේ සමාජ වගකීම් මෙහෙවර ඉටු කිරීම සඳහා ‘පවන් සත්කාර’ සහ 'කත්‍ර දූලියම්' නමින් වැඩසටහන් මාලාවක් මන්නාරම ප්‍රදේශයේ ජනතාව මූලික කරගනිමින් දැනටමත් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන් මාලාව හේලීස් සමූහයේ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) රාමුව වන Hayleys Lifecode සහ හේලීස් ෆෙන්ටන්ස් හි පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ඉලක්කයන් ඇතුලත් Green Blueprint - ESG Roadmap සඳහා අනුකූල වන ලෙසින් සැලසුම් කර තිබීමද සුවිශේෂී ය.
    ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන් අතරට පානීය ජල සම්බන්ධතා 200ක් ලබා දීම, ප්‍රදේශයේ පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර පද්ධති සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම, ගංවතුර පාලනය සඳහා ඇළ මාර්ග පිරිසිදු කිරීම සහ වීදි ලාම්පු සවි කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ඇතුලත් වේ.
    මෙවැනි වැඩසටහන් හරහා අපේක්ෂා කරන්නේ, දේශීයව මුහුණ දිය යුතු අභියෝග සමුහිකව විසඳා ගැනීම සහ ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණ දීමට ජනතාව තුළ අවශ්‍ය ශක්තිය වර්ධනය කිරීමයි. අමතරව, මෙම සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිලාභ ව්‍යාපෘතිය ආශ්‍රිතව ජීවත් වන ජනතාව අතර සාමූහිකව බෙදී යන බව සහතික කිරීම ද මෙහි මූලික අරමුණක් වේ.
    මීට අමතරව, මන්නාරම ප්‍රදේශයේ සුළං සම්පත දිගුකාලීන ආර්ථික හා සමාජීය වටිනාකමක් ලබා ගත හැකි සම්මතක් ලෙසින් පරිවර්තනය කිරීමෙන් මෙම කලාපය ජාතික සංවර්ධන ක්‍රියාවලියේ සක්‍රීය දායකයෙකු බවට පත් කිරීමට මෙම ව්‍යාපෘතිය තුළින් මඟ පෑදේ. හේවින්ඩ් වන් ලිමිටඩ් ආයතනය විසින් මන්නාරම සුළං බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය පිළිබඳ විශ්වාසය යළි තහවුරු කරන්නක්ද වෙයි. එමෙන්ම ජාතික වශයෙන් වැදගත් යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ දී රජය සමඟ හවුල්කාරීත්වයෙන් කටයුතු කිරීමට පෞද්ගලික අංශය සතු හැකියාව සහ කැපවීම ද මින් මනාව පිළිබිඹු වේ.