ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දු 30කින් 10ක් නොවැම්බර් වන විට ඉටු කරයි; තවත් 10ක් ක්‍රියාත්මක වෙමින් පවතී : අනුර මීටරය

    January, 19, 2026

    2026 අයවැය සමඟ Manthri.lk අනුර මීටරය යාවත්කාලීන කරයි

    'අනුර මීටරය' (Anura Meter) ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රගති නිරීක්ෂකයේ නවතම යාවත්කාලීන කිරීමට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 නොවැම්බර් වන විට සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30ක් අතරින් 10ක් ඉටු කර ඇත. තවත් පොරොන්දු 10ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, පොරොන්දු 9ක කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබේ. එක් පොරොන්දුවක් අසාර්ථක වී ඇති බව මෙමගින් පෙන්වා දෙයි.

    මෙම ඇගයීම මගින් 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රධාන පොරොන්දු 30ක් නිරීක්ෂණය කෙරෙන අතර, 2026 අයවැය දක්වා තොරතුරු ඇතුළත් වේ. මෙම විශ්ලේෂණය 'දිට්වා' සුළි කුණාටුවට පෙර සම්පූර්ණ කරන ලද්දකි.

    අනුර මීටරය මගින් නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු තෝරාගෙන ඇත්තේ ඒවායේ පවතින ඉහළ මහජන උනන්දුව සහ ජාතික වැදගත්කම සැළකිල්ලට ගනිමිනි. ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ විරෝධය, නීතිය හා සාමය මෙන්ම සමාජ ආරක්ෂණය යන ප්‍රධාන ප්‍රතිපත්තිමය ක්ෂේත්‍ර මෙම පොරොන්දු හරහා ආවරණය වේ.

    මැතිවරණ පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා Manthri.lk විසින් හැකි උපරිම උත්සාහය යොදා පවත්වාගෙන යන මෙම 'අනුර මීටරය' මීට පෙර මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිරීක්ෂණය කරන ලද, 'මෛත්‍රී මීටරය' සහ 'ගෝඨා මීටරය’ යන ප්‍රගති නිරීක්ෂකවල ඉදිරි පියවරකි.

    මෙහි නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු 30න් 7ක්ම ඇතුළත් කරනු ලැබුවේ මහජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර සැළකිල්ලට ගනිමිනි. නිරීක්ෂණය කළ යුතු යැයි මහජනතාව විශ්වාස කරන තවත් අමතර පොරොන්දු වෙතොත් ඒවා යෝජනා කරන ලෙස ද Manthri.lk මහජනතාවට ආරාධනා කර සිටියි.

    Manthri.lk යනු ශ්‍රී ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරීක්ෂක වේදිකාව වේ. එය පවත්වාගෙන යන්නේ මෙරට විශාලම ස්වාධීන බුද්ධි පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය යි. ප්‍රගතිය මනින සියලුම පොරොන්දුවල වර්තමාන තත්ත්වය පිළිබද පූර්ණ තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගැනීමට පිවිසෙන්න - https://manthri.lk/si/anura-meter