එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට වෙළඳ වාසියක්

    January, 19, 2026

    එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වෙළඳ හවුල්කරුවකු වන අතර දැනට ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා දෙවන විශාලතම අපනයන ගමනාන්තය වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, එක්සත් රාජධානිය 2023 ජුනි 19 සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් 65කට වෙළඳපල ප්‍රවේශය ලබා දුනි. මෙම යෝජනා ක්‍රමය යටතේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වලින් 92% කට වඩා වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානි වෙළඳපොළට ආනයන තීරු බදු රහිත ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි.

    2026 ජනවාරි 1 සිට ක්‍රියාත්මක වන ලිහිල් කළ නීති ක්‍රියාත්මක කිරීමත් සමඟ DCTS හි ප්‍රතිලාභ තව දුරටත් වැඩි දියුණු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ අපනයන අංශ සඳහා, විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය සඳහා සැලකිය යුතු තරඟකාරී වාසියක් නිර්මාණය කරන ලදී.

    සංශෝධිත DCTS රාමුව යටතේ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට සීමාවකින් තොරව ගෝලීය වශයෙන්  අමුද්‍රව්‍ය ලබා ගැනීමට අවසර ඇති අතර එක්සත් රාජධානියට ඇඟලුම් අපනයනය කිරීමේදී ශුන්‍ය-තීරු බදු ප්‍රවේශය භුක්ති විඳිමටද ඉඩකඩ ඇත. ඒ අනුව මීට පෙර තීරුබදු ප්‍රවේශය සදහා තිබූ අවශ්‍යතාවලින් සැලකිය යුතු වෙනස්වීමක් පෙන්නුම් කරන අතර සැපයුම් දාම නම්‍යශීලීභාවය, පිරිවැය කාර්යක්ෂමතාව සහ නිෂ්පාදන තරඟකාරීත්වය බෙහෙවින් වැඩි දියුණු කරයි.

    එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය 2024 දී දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 660 ක් සහ 2025 ජනවාරි-දෙසැම්බර් කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 610 ක් විය. ඇඟලුම් නිෂ්පාදන එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ මුළු අපනයනවලින් 73% ක් පමණ වන අතර, රටේ අපනයන ඉපැයීම් සහ කාර්මික වර්ධනය සඳහා මෙම ලිහිල් කළ නීති තීරණාත්මකව වැදගත් වනු ඇත.

    සංශෝධිත DCTS යටතේ හඳුන්වා දී ඇති තවත් ප්‍රධාන ප්‍රතිලාභයක් වන්නේ මීට පෙර නිශ්පාදන ක්‍රියාවලියේදී අවම වශයෙන් නිශ්පාදන ක්‍රියාවලීන් දෙකක් පනවා තිබූ  කොන්දේසිය ඉවත් කිරීම මගින් නිශ්පාදන සැකසුම් අවශ්‍යතා සරල කිරීමයි. මෙම විධිමත් කළ සහ නම්‍යශීලී නීති, එක්සත් රාජධානි වෙළඳපොළේ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ.

    ඇඟලුම් වලින් ඔබ්බට ගිය විට, සංශෝධිත DCTS අනෙකුත් අපනයන අංශවලට ද සැලකිය යුතු වාසි සපයයි. ශ්‍රී ලංකා නිෂ්පාදකයින්ට දැන් රටවල් 18කින් සමන්විත ආසියා කලාපීය කණ්ඩායමෙන් යෙදවුම් ලබා ගැනීමට අවසර ඇත. මෙම පුළුල් කළ පහසුකම අපනයනකරුවන්ට ශුන්‍ය හෝ අඩු කළ තීරු බදු ප්‍රතිලාභ රඳවා තබා ගනිමින් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ වැඩි නම්‍යශීලීභාවයක් ලබා දෙයි.

    මෙම ලිහිල් කළ DCTS නීති හරහා, එක්සත් රාජධානි සහ ගෝලීය සැපයුම් දාමවල වඩාත් ක්‍රියාශීලී භූමිකාවක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව හොඳින් ස්ථානගත කර ඇත. ප්‍රතිසංස්කරණ ඇඟලුම් අංශය ශක්තිමත් කිරීම පමණක් නොව අපනයන විවිධාංගීකරණයට සහාය වීම, තිරසාර ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම, රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් හා සාධාරණ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා සහාය වේ.

    මෙම තත්වය තුල ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසසාරිස් ඇන්ඩෲ පැට්‍රික් යන මහත්වරුන් අතර සංශෝධිත එක්සත් රාජධානි DCTS මගින් ඇතිවන වැඩිදියුණු කළ වෙළඳ අවස්ථා පිළිබඳව පසුගියදා වැඩිදුර සාකච්ඡාවක් පැවැත්වීය. එක්සත් රාජධානි වෙළඳපොළේ ශ්‍රී ලංකාවේ පැවැත්ම ශක්තිමත් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත වෙළඳ නාම ප්‍රවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳව ද  මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී.

    මෙම සම්බන්ධීකරණ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ගැඹුරු කිරීමට, අපනයන සංවර්ධනයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ විශ්වාසදායක හා තරඟකාරී වෙළඳ හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය විසින් දක්වන කැපවීම නැවත තහවුරු කරයි.