තුල්හිරිය MAS මෙත්ලිය කර්මාන්තශාලාවේ ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් නවතයි

    February, 23, 2026

    මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයෙකු වන MAS Holdings සිය තුල්හිරියේ පිහිටි MAS මෙත්ලිය කර්මාන්තශාලාවේ ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබේ.

    මේ බව MAS කළමනාකරණය විසින් පසුගිය පෙබරවාරි 19 දින එහි සේවකයින්ට දැනුම් දී ඇති අතර ඒ අනුව මෙතෙක් මෙත්ලිය කර්මාන්තශාලාවේ සිදුකරන ලද ඇඟලුම් නිෂ්පාදන කටයුතු සමූහයේ වෙනත් කර්මාන්තශාලා වෙත ගෙනයාමට කටයුතු කරනු ලබන අද දෙරණ Business වෙත වාර්තා වේ.

    තුලිහිරිය MAS Fabric Park (MFP) හි පිහිටි මෙම මෙත්ලිය පරිශ්‍රය ඉදිරියේ දී සමූහයේ knitting, dyeing සහ finishing මෙහෙයුම් වෙනුවෙන් යොදා ගැනීමට සමූහය විසින් තීරණය කර ඇත.

    මෙහිදී දැනට සේවයේ නියුක්ත මෙත්ලිය සේවකයින් හට මෙරට හෝ ජෝර්දානයේ පිහිටි වෙනත් කර්මාන්තශාලා වෙත යොමුවීමේ අවස්ථාව ලබා දෙන අතර එම යළි ස්ථානගත වීමේ කාලසීමාව වෙනුවෙන් මාස 03ක වැටුපක් ගෙවීමට නියමිතය. මේ අතර පුද්ගලික හේතූන් මත මෙම විකල්පය භාර නොගෙන සේවයෙන් ඉවත් වීමට යම් සේවකයෙකු අදහස් කරන්නේ නම්, ශ්‍රී ලංකා කම්කරු නීති යටතේ නියමිත අවම මට්ටමට වඩා ඉහළ වන්දියක් ගෙවීමට සමාගම එකඟ වී තිබේ. එමෙන්ම සියලු නීතිමය ගෙවීම් පියවමින්, අප්‍රේල් මස අවසානය දක්වා වැටුප් සහ අප්‍රේල් මස ප්‍රසාද දීමනාව ද ගෙවීමට නියමිතය.

    ගෝලීය වශයෙන් ඇඟලුම් කර්මාන්තයේ පසුබැසීමක් වාර්තා වීම සමූහයේ මෙම තීරණය ගැනීමට මූලිකවම හේතු වී තිබේ. MAS සමූහය පවසන්නේ එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන අපනයන වෙළඳපොළවල ආර්ථික මන්දගාමීභාවය, උද්ධමන පීඩනය, ගාස්තු හා වාණිජ ප්‍රතිපත්ති වෙනස්වීම් හේතුවෙන් ඇණවුම් ප්‍රමාණයන්ට බලපෑම් එල්ල වී ඇති බවයි.

    මෙවැනි පසුබිමක දිගුකාලීනව ස්ථාවර ලෙස ක්‍රියාත්මක වීම සඳහා සමාගම මෙහෙයුම් නැවත සංවිධානය කරමින් සිටින අතර, පසුගිය කාලයේ හයිටි සහ ඩොමිනිකන් ජනරජයේ මෙහෙයුම් නවතාලීම ද ඒ අතරට අයත් බව MAS සඳහන් කරයි.