EPF ගණුදෙනු සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

    March, 27, 2026

    සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීරණය අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කරයි

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කරන ලෙස ලබා දුන් නියෝගයක් අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන ලදී.

    වෙරිටේ රිසර්ච් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතයටතේ, රාජ්‍ය සුරැකුම්පත් ගණුදෙනු සම්බන්ධව මිලදී ගත් දිනයන්, ඵලදායිතාව, මිළ ගණන් සහ ගණු දෙනු වලට අදාළ පාර්ශවයන් යනාදිය ඇතුලත් සවිස්තරාත්මක වාර්තා සහිතව සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන පිළිබඳව තොරතුරු ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මෙම නඩු කටයුත්ත ආරම්භ විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇතැම් පොදු තොරතුරු හෙළිදරව් කරන ලද අතර වාණිජමය වශයෙන් සංවේදීවීම සහ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1) වගන්තිය යටතේ දක්වා ඇති ව්‍යවස්ථාපිත ව්‍යතිරේඛයන් තුලට ඇතුලත් වීම යන පදනම මත ගණු දෙනු පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.

    අභියාචනාධිකරණය විසින්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ තීරණය නිෂ්ප්‍රභ කරමින් ප්‍රකාශ කරන ලද්දේ ඉල්ලා සිටින ලද තොරතුරු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(ඈ) වගන්තිය යටතේ දක්වා ඇති හෙළිදරව් කිරීම තුලින් තෙවන පාර්ශ්වයකට හානියක් විය හැකි වාණිජමය වශයෙන් රහසිගත තොරතුරු ආරක්ෂා කිරීම පිළිබඳ ව්‍යතිරේඛය තුලට ඇතුලත් වන බවයි.

    සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කිරීම තුළින් අරමුදලේ ආයෝජන උපායමාර්ගයන් නිරාවරණය වන බවත් එමඟින් රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි වලදී වෙළදපොල සහභාගී වන්නන්ට සිය ලංසු පිළිබඳ පූර්වාපේක්ෂණයන් කිරීමට සහ උපායශීලී ලෙස සිය ලංසු ඉදිරිපත් කිරීමට හැකි වන බවත් අභියාචනාධිකරණය විසින් නිරීක්ෂණය කරන ලදී. මෙමඟින් අවසාන වශයෙන් මිලියන ගණනක් වූ අරමුදලේ දායකයන්ට බලපෑමක් සිදු වන අයුරින් සේවක අර්ථසාධක අරමුදල තරඟකාරී අවාසියකට සහ ප්‍රතිලාභ ලැබීම අවම වීමකට ලක්විය හැකි බව පිළිබඳව අධිකරණය විසින් අවධානයට යොමු කර ඇත.

    සේවක අර්ථ සාධක අරමුදලේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධව මහ බැංකුව වෙතපවතින භාරකාරීත්ව වගකීම අවධාරණය කරමින් අධිකරණය විසින් දක්වා සිටින ලද්දේ මෙවැනි සංවේදී මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීම තුළින් අරමුදලේ වෙළඳපොල ස්ථාවරත්වයට හානි සිදු විය හැකි බවයි. එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ සේවක අර්ථසාධක අරමුදලේ මෙහෙයුම් වල විනිවිදභාවය වාර්ෂික වාර්තා කිරීම, විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක්කිරීම සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණය වැනි ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ගයන් හරහා සුරක්ෂිත කර ඇති බවයි.

    මහජන සුභසිද්ධිය පිළිබඳ ගැටළුවෙහිදී, අධිකරණය විසින් නිගමනය කරන ලද්දේ මෙම හෙළිදරව් කිරීම තුලින් ලැබෙන ප්‍රතිලාභ, සේවක අර්ථසාධක අරමුදලට සහ එහි සාමාජිකයන්ට සිදු විය හැකි හානිය ඉක්මවා යන බව පෙන්වා දීමට වග උත්තරකරු අපොහොසත් ව ඇති බවයි.

    ඒ අනුව, අධිකරණය විසින් තීරණය කරන ලද්දේ, වලංගු ව්‍යවස්ථාපිත ව්‍යතිරේඛයක් අදාළ වන අවස්ථාවකදී හෙළිදරව් කිරීමක් සිදු කළ යුතු බවට තීරණය කිරීම තුළින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සිය බලතල ඉක්මවා ගොස් ඇති බවයි. ඒ අනුව, අභියාචනාධිකරණය මහ බැංකුවේ අභියාචනය පිළිගනිමින් කොමිෂන් සභාවේ 2018 නොවැම්බර් 27 දිනැති තීරණය අවලංගු කරන ලදී.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මඟින් විනිවිදභාවය ඉහළ නැංවීම සිදු වුවද, කිසියම් හෙළිදරව් කිරීමක් මඟින් තරඟකාරී තත්වය සඳහා හානියක් සිදු කරන්නේ නම් සහ එය ඉක්මවා යන අන්දමේ මහජන සුභසිද්ධියක් තහවුරු නොකරන්නේ නම්, පොදු අධිකාරියන් සතුව පවතින වාණිජමය වශයෙන් සංවේදී මූල්‍ය තොරතුරු හෙළිදරව් නොකර සිටීමට ඇති නීත්‍යානුකුල හැකියාව මෙම නඩු තීන්දුව තුලින් සහතික කර ඇත.