Liberty Lands & Developments විසින් Scope Cinemas හි පූර්ණ හිමිකාරිත්වය අත්පත් කර ගනී

    April, 2, 2026

    Liberty Lands & Developments (LLD) සමාගම, Scope Cinemas ජාලයේ ඉතිරි කොටස් ද අත්පත් කර ගනිමින් එහි පූර්ණ හිමිකාරිත්වය තහවුරු කර ගැනීමට කටයුතු කර ඇත. මෙය එම සමූහයේ ව්‍යාපාරික ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ සහ දිගුකාලීන උපායමාර්ගික ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

    මෙම අත්පත් කර ගැනීම හරහා LLD සමාගම සිය විනෝදාස්වාද ක්ෂේත්‍රයේ (Entertainment Industry) ආයෝජන තවදුරටත් ශක්තිමත් කිරීමටත්, මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කරමින් ප්‍රේක්ෂකයන් වෙත ලෝක මට්ටමේ සිනමා අත්දැකීම් ලබා දීමට සුවිශේෂී පියවරක් තබා ඇත. මෙහිදී Scope Cinemas පූර්ණ වශයෙන් තම හිමිකාරිත්වය යටතට පත්වීමත් සමඟ, "put a smile on everyone’s face" යන සිය මූලික සන්නාම පොරොන්දුව යළි තහවුරු කරමින් සිය ව්‍යාපාර හරහා වැඩි සහයෝගීතාවයකින් කටයුතු කිරීමට සමූහය සූදානමින් සිටී.

    මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, තුෂාන් රංගන මීමනගේ මහතා Scope Cinemas හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ධූරයෙන් මෙන්ම අනෙකුත් අනුබද්ධිත සමාගම්වල දරන ලද සියලුම තනතුරුවලින් මාර්තු 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වනු ඇත. මෙය මෙම සමූහයේ උපායමාර්ගික ප්‍රමුඛතාවලට අනුකූලව සිදුවන නායකත්ව වෙනසකි. මේ අතර Scope Cinemas හි වත්මන් විධායක සභාපති නවීඩ් කාදර් මහතා, වහාම ක්‍රියාත්මක වන පරිදි එහි අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇත. ඔහු එහි විධායක සභාපති ධුරයේද දිගටම කටයුතු කරනු ඇත. එමගින් සමාගමේ මීළඟ වර්ධන සහ පරිවර්තනීය අදියර සඳහා අවශ්‍ය අඛණ්ඩ නායකත්වය සහ මගපෙන්වීම සහතික කෙරේ.

    LLD සමාගම විනෝදාස්වාදය, සත්කාරක සේවා (Hospitality), දේපළ වෙළෙඳාම සහ ආහාර පාන යන ක්ෂේත්‍ර ගණනාවක විවිධාංගීකරණය වූ ආයෝජන සහිත සමාගමකි. Scope Cinemas සහ Food Studio එහි ප්‍රධාන අනුබද්ධිත ආයතන වන අතර, Alhambra Hotels සහ Cine Digital යන ආයතනවල ද උපායමාර්ගික කොටස් හිමිකාරිත්වයද මෙම සමූහය සතු වේ.

    මෙම නව වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් නවීඩ් කාදර් මහතා මෙසේ ප්‍රකාශ කළේ, "මෙම පියවර අපගේ සමූහයේ ව්‍යාපාරික කටයුතු අතර වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති කිරීමට සහ Scope Cinemas හී මීළඟ වර්ධන අදියර සඳහා පදනම සැකසීමට ගත් තීරණයක් බවයි. අනාගතයට සූදානම්, ඔරොත්තු දෙන සංවිධානයක් ගොඩනැගීම සහ අපගේ ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී සිනමා අත්දැකීම් අඛණ්ඩව ලබා දීම අපගේ මූලික අරමුණයි."

    මෙරට සිනමා ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තැබීමට Scope Cinemas නිරන්තරයෙන් කැපවී සිටී. මෙම උපායමාර්ගික පියවර හරහා විනෝදාස්වාද ක්ෂේත්‍රයේ දිගුකාලීන වර්ධන අවස්ථා පිළිබඳ  LLD සතු විශ්වාසය තහවුරු වන අතර, වඩාත් ඒකාබද්ධ වූ සහ ඉදිරිගාමී ව්‍යාපාරික දැක්මක් ගොඩනැගීමට ඇති කැපවීම ද මෙයින් මනාව නිරූපණය වේ.