මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව ඉහළ පෙළේ මැලේසියානු ආයෝජකයින් පිරිසකගේ අවධානය

    April, 6, 2026

    මැලේසියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන නියෝජනය කරන මැලේසියානු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (MICCI - Penang) ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන (FDI) අවස්ථා සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නිල සංචාරයක නිරත වූහ.

    පිනෑන්ග්හි මැලේසියානු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති Dato’ S. Parthiban මහතාගේ නායකත්වයෙන් යුත් මෙම 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක් වූහ. මෙහිදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන හිතකර ව්‍යාපාරික පරිසරය සහ පවතින උපායමාර්ගික ආයෝජන අවස්ථා පිළිබඳමෙම දූත පිරිස දැනුවත් කළහ.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ වරාය නගරය, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ තිරසාර බලශක්ති අධිකාරිය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන රැසක නිළධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරිය මැලේසියාව මෙරට ප්‍රධානතම ආයෝජකයෙකු බවත් දශක ගනනාවක සිට විදුලි සංදේශ කේෂ්ත්‍රයේ ඉහලින්ම ආයෝජනය කර සිටින රට බවත්, දෙරට අතර පවතින අවබෝධය ඉදිරියටත් සාර්ථක ආයෝජන පවත්වාගෙන යාමට බොහෝ හේතු වනු ඇති බව අවධාරණය කළාය.

    ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සහ 'කර්මාන්ත 4.0' කරා ගෙන යන ගමන පිළිබඳව ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ද මෙහිදී අදහස් පුළුල්ව දැක්වීය.

    මෙම සංචාරයේදී මැලේසියානු ආයෝජකයින් පහත සඳහන් ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූහ:
    • තොරතුරු තාක්ෂණය: දත්ත මධ්‍යස්ථාන (Data Centres), සයිබර් ආරක්ෂණය සහ මෘදුකාංග විසඳුම්.
    • පුනර්ජනනීය බලශක්තිය: සූර්ය බලශක්ති ඉතිරිකිරීමේ විසඳුම්.
    • තිරසාර කර්මාන්ත: ප්ලාස්ටික් හා ලෝහ ප්‍රතිචක්‍රීකරණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය.
    • නිෂ්පාදන සහ කෘෂිකර්මය: ගුවන්යානා කොටස් නිෂ්පාදනය, තෙල් හා ලිහිසි ද්‍රව්‍ය, සහ අගය එකතු කළ කුළුබඩු හා හලාල් සහතික ලත් නිෂ්පාදන.

    සංචාරයේ දෙවන දිනය වූ 2026 මාර්තු 31 වන දින, නියෝජිත පිරිස මැලේසියානු ව්‍යාපාරික කවුන්සිලය සමග සුහද හමුවකට එක් වූහ. ඉන් අනතුරුව, ඔවුහු කටුනායක අපනයන සැකසුම් කලාපයේ (KEPZ) නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා මෙහෙයුම් සහ යටිතල පහසුකම් පිළිබඳව සෘජු හා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගත්හ.

    මෙම සංචාරය තුලින් ශ්‍රී ලංකාවේ "Made in Sri Lanka" සන්නාමය ලෝක වෙළඳපොළට ගෙනයාමටත්, මැලේසියානු ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් අපේක්ෂා කෙරේ.