ඩොලර් මිලියන 700ක IMF මීළඟ වාරිකය ගැන ජනපතිගෙන් අනාවරණයක්

    April, 7, 2026

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පසහසුකම් වැඩසටහනේ පස්වන සහ හයවන වාරික ලෙස එකවර ඩොලර් මිලියන 700ක මුදලක් එළඹෙන මැයි මාසය අග වන විට ලබා ගැනීමට හැකියාව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    අද (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර ඔවුන් සමඟ සාකච්ඡා ඉතා ඵලදායී මට්ටමින් සිදුවෙමින් පවතින බවත්, බ්‍රහස්පතින්දා (09) වන විට ශ්‍රී ලංකාව තුළ දීම ඔවුන් සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුම කරා එළඹීමට උපරිම උත්සාහ දරන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ අප ඉතාමත් ඵලදායී සාකච්ඡාවක නිරත වෙමින් සිටිනවා. අපි උත්සාහ කරනවා බ්‍රහස්පතින්දා (09) ඔවුන් සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම මෙහිදීම අත්සන් කරන්න. වෙනදා සාකච්ඡා කරලා ගිහිල්ලා මාණ්ඩලික මට්ටමේ ගිවිසුම එහිදී එළඹෙන්නේ. අපි උපරිම උත්සාහ කරනවා මේ බ්‍රහස්පතින්දා වෙන කොට මාණ්ඩලික මට්ටමේ එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ලැබෙන්න. එහෙම එකගතාවය ලැබුණොත් අපිට 5, 6 කියන වාරික දෙක එකටම ලැබෙනවා. ඒ නිසා මැයි මාසයේ අග වෙන්න පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ඩොලර් මිලියන 700ක 5 සහ 6 කියන වාරික දෙක එකටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා.“