GovTech App/Service Marketplace ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    April, 7, 2026

    ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ව්‍යූහය තුළ ඩිජිටල් නිෂ්පාදන සහ සේවාවන් සඳහා මධ්‍යගත හා විනිවිදභාවයකින් යුත් වෙළෙඳපොළක් නොමැති වීම හේතුවෙන් විසිරුණු සහ අකාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නිර්මාණය වී ඇත. එමෙන්ම, රාජ්‍ය ආයතන බොහෝවිට තාක්ෂණික විසඳුම් තනි තනිව ප්‍රසම්පාදනය කිරීම හේතුවෙන් ද විවිධාකාරයේ ගැටලු උද්ගත වී තිබේ.

    එයට පිළියමක් වශයෙන්, 2025-10-21 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණයක් පරිදි, 'ඩිජිටල් සංවර්තන වැඩසටහන - අදියර 1' හි තුන්වන කාර්ය ප්‍රවාහය යටතේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructures) සහ ඒ මත පදනම් වූ රජයේ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, යෙදවීම සහ නඩත්තු කිරීම (GovTech App/Service Marketplace) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    එමඟින්, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා තෝරා ගැනීම සඳහා කුසලතා පදනම් කර ගත් පද්ධතියක් හඳුන්වා දීම, වෙළෙඳපොළ බාධක අවම කිරීම මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු පුළුල් සැපයුම්කරුවන් පිරිසකට රජයේ ඩිජිටල් සේවා කොන්ත්‍රාත්තු සඳහා ප්‍රවේශය ලබා දීම සහ රජයේ ආයතනවලට ගුණාත්මක සහ පිරිවැය සඵලදායී විසඳුම් එක් ස්ථානයකින් (One‑stop‑shop) තෝරා ගැනීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ.

    ඒ අනුව, රුපියල් මිලියන 563ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026‑2027 කාලසීමාව තුළ අදියර තුනක් වශයෙන් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.