දුරකථන ඇමතුම් සහ WhatsApp ඔස්සේ සිදුකරන වංචනික ක්‍රියාවන් පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යළිත් අනතුරු ඇඟවීමක්

    April, 8, 2026

    සිය පාරිභෝගිකයන්ගෙන් ඉලක්ක කර ගනිමින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බරපතල වංචනික ක්‍රියාවන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ සහ සෘජු දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත. මෙහිදී එම වංචනිකයින් විසින් විවිධ ජංගම යෙදවුම් (Mobile Applications) ස්ථාපනය කරන ලෙසත්, දුරකථන තිරය හුවමාරු (Screen Share) කරන ලෙසත් හෝ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP), බැංකු රහස්‍ය අංක (PIN), ක්‍රෙඩිට් කාඩ් පත් පිළිබඳ විස්තර හෝ වෙනත් සංවේදී මූල්‍ය තොරතුරු හෙළි කරන ලෙසත් ඉල්ලා සිටිය හැකිය.

    ටිකට් පත් නිකුත් කිරීම, ප්‍රවර්ධන වැඩසටහන් හෝ වෙනත් කිසිදු කාර්යයක් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය වට්ස්ඇප් (WhatsApp) ඇමතුම් මගින් පාරිභෝගිකයින් සම්බන්ධ කර නොගන්නා අතර කලින් ඉල්ලීමක් නොකළ දුරකථන ඇමතුම් (Unsolicited calls) ලබා නොගන්නා බව අවධාරණය කෙරේ. එමෙන්ම, ගුවන් සේවය කිසිදු අවස්ථාවක OTP කේත, බැංකු රහස්‍ය අංක (PIN), ක්‍රෙඩිට් කාඩ් පත් විස්තර හෝ වෙනත් කිසිදු රහසිගත තොරතුරක් ඉල්ලා නොසිටින අතර, දුරකථන තිරය හුවමාරු කරන ලෙස හෝ ජංගම යෙදුම් ස්ථාපනය කරන ලෙස ද ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා නොසිටියි.

    මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඒවා අදාළ බලධාරීන්ට වාර්තා කරන ලෙසත් සියලුම ප්‍රවර්ධන වැඩසටහන්, දීමනා සහ සන්නිවේදනයන් පිළිබඳ විස්තර ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය වන www.srilankan.com හෝ තහවුරු කරන ලද (Verified) නිල සමාජ මාධ්‍ය නාලිකා හරහා පමණක් තහවුරු කරගන්නා මෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.