April, 16, 2026
නැගී එන වෙළෙඳපොළ (Frontier and Emerging Markets) ආයෝජන ක්ෂේත්රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන මාක් මෝබියස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 89 වැනි වියේ පසුවිය.
කලක් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ ප්‍රමුඛතම විදෙස් ආයෝජකයෙකු ලෙස, ඔහු නායකත්වය දැරූ Franklin Templeton අරමුදල කතාබහට ලක්විය. 2015ට පෙර මෙරට භාණ්ඩාගාර බැඳුම්කරවල සැලකිය යුතු ආයෝජන කොටසක් එම අරමුදල සතුව තිබුණු බව කියැවේ.
අවස්ථා කිහිපයක දීම ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ඔහු වරක් පැවසුවේ, ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ හෝ කොටස් වෙළෙඳපොළ සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වීම, සිය ආයෝජන සම්බන්ධයෙන් ඇති විශාල ගැටළුවක් බවයි. 2019 වසරේ දී සිය ශ්‍රී ලංකා සංචාරය අතුරතුර දී ඔහු එසේ පැවසූ අතර, තමා එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් දේපළ, මූල්‍ය හා සංචාරක කර්මාන්ත දෙස වැඩි අවධානයක් යොමු කරනු ලබන බව වැඩිදුරටත් කියා සිටියේය.
ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන වෙළඳපොළ සමූහයේ විධායක සභාපති ලෙස කටයුතු කළේය. ඔහුගේ සේවා කාලය තුළ සමූහය කළමනාකරණ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 100 සිට ඇමරිකානු ඩොලර් බිලියන 40 දක්වා පුළුල් කළ අතර ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නැගී එන වෙළඳපල සහ දේශසීමා අරමුදල් ගණනාවක් දියත් කළේය.
Video Story