සිපෙට්කෝ කොමිස් මුදල් අඩු වීම ගැන බෙදුම්කරුවන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්

    April, 20, 2026

    සංස්ථා පිරවුම් හල් හිමියන්ගේ වට්ටම් ගණනය කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සහ වට්ටම් මුදල් අඩු කිරීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. අදාළ කරුණු සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු සම්බන්ධිත ආයතන සමඟ කළ සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් මෙම ගැටළුව ජනාධිපතිවරයාගේ අවධානයට ගෙන එන බව සංගමය එම ලිපියෙහි සඳහන් කර ඇත. සංගමය අනාවරණය කරන්නේ ඉන්ධන බෙදුම්කරුවන් හා අලෙවි නියෝජිතයන් 98%ක් පමණ පෞද්ගලික හෝ හවුල් ව්‍යාපාර ලෙස ඉන්ධන හල් පවත්වා ගෙන යන බවයි. දේශපාලන සම්බන්ධතා මත ලැබුණු බලපත්‍ ඇත්තේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක් බවද සංගමය පවසයි. 2025 පෙබරවාරි 25 නිකුත් කළ චක්‍රලේඛ අංක 1109 මගින් 2025 මාර්තු 1 සිට බල පැවැත්වෙන නව කොමිස් ගණනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර කලින් පැවති ප්‍රතිශත පදනම් වූ ක්‍රමය වෙනුවට ස්ථාවර පරාසයක ලීටරයකට ලැබෙන ආදායම සීමා කරන ක්‍රමවේදයක් සංස්ථාව ඒකපාර්ශ්වික හදුන්වා දී ඇති බව සංගමය පවසයි.

    නව ක්‍රමය යටතේ ලැබෙන ආදායම සේවක වැටුප් ගෙවීමට, යන්ත්‍රෝපකරණ නඩත්තුවට, බැංකු ණය ගෙවීමට සහ ඉන්ධන පිරවුම් හල් පවත්වා ගෙන යාමට අවශ්‍ය අනෙකුත් වියදම් පියවීමට ප්‍රමාණවත් නොවන බව සංගමය පෙන්වා දෙයි.  විශේෂයෙන්ම බැංකු ණය පවතින අලෙවි නියෝජිතයන්ට මෙම ක්‍රමවේදය දැඩි ආර්ථික පීඩනයක් බවත්, මෙම තත්ත්වය දිගටම පැවතුණොත් සමූපකාර පිරවුම් හල්  සහ පෞද්ගලික පිරවුම් හල් රැසක් වසා දැමීමට පවා සිදු විය හැකි බවත් සංගමය අනතුරු අඟවයි. මෙම නව කොමිස් ව්‍යුහය හඳුන්වා දීමේදී කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සමඟ පෙර සාකච්ඡාවක් නොකළ බවද සංගමය පවසයි. එවැනි සාකච්ඡාවක් කළා නම් වඩාත් ප්‍රායෝගික සහ තිරසාර විසඳුමක් සකස් කළ හැකිව තිබුණු බවද සංගමය සඳහන් කරයි. වර්තමාන ක්‍රමවේදය තුළ සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් තම සියලුම වියදම් අවසන් මිලට ඇතුළත් කර ගනිමින් පිරිවැය ප්‍රතිසාධන මිලකරණයක් යටතේ ක්‍රියා කරන අතර බෙදුම්කරුවන්ට සීමිත ආදායම් පරාසයකින් සියලු මෙහෙයුම් වියදම් දරා ගැනීමට වීමෙන් ව්‍යුහාත්මක අසමතුලිතතාවක් බෙදුම්කරුවන්ට ඇති කර ඇති බව සංගමය පෙන්වා දෙයි.

    ඒ අතරතුර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පෞද්ගලික ඉන්ධන සමාගම්වල නියෝජිතයන් තවමත් විකිණුම් මිලෙන් 3%ක් පමණ වන ප්‍රතිශතයක වට්ටම් මුදලක් ලබාගනිමින් ඔවුන් තිරසාර ආදායම් මට්ටමක් පවත්වා ගෙන යයි. ඉන්ධන බෙදුම්කරුවන්ට උපරිම සිල්ලර මිල නියම කිරීමේ බලයක් නොමැති වුවද, VAT බදු ගෙවීමටත්, මුදල් ගෙවිම් කිරිම මත ඉන්ධන මිල දී ගැනීමටත් සිදු විම හේතුවෙන් වැඩි මුල්‍ය පීඩනයක් ඇති කර ඇත.  මිල ඉහළ යාමත් සමඟ තෙල් මිලදි ගැනිමට බෙදුමිකරුවන් වැඩි මුදල් ආයෝජනයක් සිදුකල යුතු වුවද ලීටරයකට ලබාදෙන වට්ටමි මුදල වෙනස් නොවීම මෙම ගැටළුව තව දුරටත් උත්සන්න කරයි. මෙම තත්ත්වය දිගටම පැවතුණොත් ඉන්ධන සැපයුම් ජාලය බිඳ වැටීමේ අවදානමක් පවතින අත‍ර එය පාරිභෝගිකයන්ට ඉන්ධන ගැනීමේදීද බලපෑමක් විය හැකි බවට කර්මාන්ත පාර්ශ්වකරුවෝ අනතුරු අඟවති. මෙම ගැටළුවට තිරසාර විසඳුමක් සෙවීමට ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුමක් ඇති විශේෂඥ කමිටුවක් පත් කරන ලෙසත්, එම කමිටුවට සංගමයේ නියෝජිතයන් ඇතුළත් කරන ලෙසත් සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.