රුපියල මත පීඩනය තවදුරටත් – ඩොලරය රු. 316 පනී

    April, 20, 2026

    මෑත කාලයේ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම රුපියල් අගය අද (20) දින වාර්තා වී තිබේ.

    ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 312.83ක් ලෙසත් විකුණුම් මිල රු. 320.27ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) දින සටහන්ව ඇත.

    මේ අතර ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (20) දිනයේ දී රු. 316.44 ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මීට පෙර අවසන් වරට මෙම මට්ටමේ ඩොලරය පැවතියේ 2024 පෙබරවාරි 01 දින වන අතර එදින එම අගය රු. 316.12 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 වසරේ අප්‍රේල් 17 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 1.8%කින් අවප්‍රමාණය වී ඇති බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන පරිදි දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් පසුගිය මාර්තු මාසයේ දී මිලියන 120.3ක ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 71.5ක් අලෙවි කර තිබේ.