April, 22, 2026
මෑත වසරවල දී, ශ්‍රී ලංකා ආර්ථිකය නිතරම මෙන්ම තීව්රව ඇතිවන දේශීය හා බාහිර කම්පනයන්ට මුහුණ දී ඇත. මෙම කම්පනවලින් යම් කොටසක් ස්වභාවික විපත් හේතුවෙන් ඇති වූවද, අනෙකුත් කම්පන දේශීය සහ ගෝලීය මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වී ඇත. මෙසේ නිතර නිතර ඇතිවන දැඩි ආර්ථික කම්පන හේතුවෙන් මතු වන ඉහළ අවිනිශ්චිතතාව, ගෘහ ඒකකවල පරිභෝජන සහ ඉතිරි කිරීමේ තීරණවලට මෙන්ම ව්‍යාපාරවල නිෂ්පාදන සහ ආයෝජන තීරණවලට ද බාධා එල්ල කරමින් රටේ වර්ධන විභවය අඩාල කරයි. තවද, ආර්ථික අර්බුදවල දී ආර්ථික ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ මාර්ග දුර්වල වීම සහ ආර්ථික ප්රතිපත්තිවල ප්‍රතිඵල පුරෝකථන කිරීමට අපහසු වීම නිසා ඉහළ යන අවිනිශ්චිතතා හේතුවෙන් සාර්ව ආර්ථික මට්ටමේ තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති සම්පාදනය තවදුරටත් අභියෝගාත්මක වී ඇත.
මෙම කම්පනවල සමාජ-ආර්ථික බලපෑම් බහුවිධ වන අතර, එමගින් ආර්ථිකය මත දිගුකාලීන බලපෑම් ඇති කළ හැකිය. සාමාන්‍යයෙන්, මෙවැනි ආර්ථික කම්පන මගින් ජනගහනයේ අවදානමට ලක්විය හැකි කොටස් වෙත අසමානුපාතිකව වැඩි පීඩනයක් ඇති කරනු ලබන අතර, එමගින් ආර්ථික විෂමතාවන් තවදුරටත් උග්‍ර කරයි.
මෙසේ අවිනිශ්චිතබව ‘නව සාමාන්‍යය‘ බවට පත්ව ඇති බැවින්, ශීඝ්‍රයෙන් දියුණු වන තාක්ෂණය, වර්ධනය වන ගෝලීය ගැටුම්, භූ-දේශපාලනික බෙදීම්, දේශගුණික විපර්යාස නිසා ඇති වන ස්වභාවික විපත්, පුනර්ජනනීය බලශක්තිය වෙත සංක්‍රමණය වීම, ඉහළ යන ආරක්ෂණවාදය සහ අනෙකුත් විවිධ කම්පන හේතුවෙන් අනාගතය තවදුරටත් අභියෝගාත්මක වනු ඇත.
පැවති වසංගත සහ ආර්ථික අර්බුද කාලයේ ලද අත්දැකීම් මගින් පෙනෙන ආකාරයට, විශේෂයෙන් ම ආර්ථිකය තුළ ප්‍රමාණවත් විදේශීය සහ රාජ්‍ය මූල්‍ය ස්වාරක්ෂක නොමැති විට සහ මූල්‍ය ප්‍රතිපත්ති අවකාශය සීමිත වන විට, මෙවැනි කම්පන නිසා ආර්ථික වර්ධනය අඩාල වීම සහ ඉහළ මෙන්ම අස්ථාවර උද්ධමනකාරී තත්ත්ව ඇති වීම ආදී වූ ගැටලු මගින් සැලකිය යුතු සාර්ව ආර්ථික අස්ථාවරත්වයක් කරා මග පෑදිය හැකිය. එබැවින්, ආර්ථික කැළඹීම් සහිත කාලවකවානුවල දී, ආර්ථිකය නිසි ලෙස හසුරුවා ගැනීම සඳහා ප්‍රමාණවත් සහ කාර්යක්ෂම රාජ්‍ය මූල්‍ය හා විදේශ ස්වාරක්ෂක ගොඩනැගීම අතිශයින් වැදගත් වේ. ප්‍රමාණවත් සංචිත පවත්වා ගැනීමේ වැදගත්කම දිට්වා සුළි කුණාටුව පැවති සමයේ මෙන්ම ඊට පසු කාලයේ දී මැනවින් පැහැදිලි විය. මීට අමතරව, ආපදා සඳහා පෙර සූදානම ශක්තිමත් කිරීම සහ රක්ෂණය වැනි අවදානම් බෙදාගැනීමේ යාන්ත්‍රණයන් ප්‍රවර්ධනය කිරීම මගින්, දේශගුණික අවදානම්වල බලපෑම් අවම කර ගැනීමට ආර්ථිකයේ පාර්ශ්වකරුවන්ට සහාය විය හැකිය. එසේම, ආර්ථික කම්පන හමුවේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මත ඇති වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මැනවින් ඉලක්කගත කළ, එහෙත් ප්‍රමාණවත් තරම් නම්‍යශීලී සමාජ ආරක්ෂණ ජාලයන් පැවතීම ද වැදගත් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණයෙහි මේ බව සඳහන් වේ.
Video Story