මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වී කළ සොරකමක් ගැන පැමිණිල්ලක්

    April, 23, 2026

    මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකල සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබද හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත දැනුවත් කිරීම කරනු ලැබිණි. ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කිරීම සිදුකරන ලදී. එලෙසම, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

    මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර, අවශ්‍ය ක්‍රියායාමාර්ග ගෙන ඇති අතර නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

    මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්, අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය සහාය දැක්වීම සහ අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කර ඇත.

    දැනටමත් විමර්ශන කටයුතු සිදුවන බැවින්, එම කටයුතු වලට බාධාවක් නොවන සේ, මේ පිළිබඳව යාවත්කාලීන තොරතුරු, සුදුසු ඉදිරි අවස්ථාවක දී ලබා දීමට කටයුතු කෙරේ.

    ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් වලට අනුගතව, අදාළ සම්බන්ධීකරණයන් සහ එකඟතාවයන් සහිතව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇත.

    මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් කතානායකවරයා වෙත කළ දැනුම් දීමක් සම්බන්ධ ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. අදාළ ලිපිය පහතින් දැක්වේ.

    2026 අප්‍රේල් 22

    ගරු කතානානයකතුමා,
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,
    කෝට්ටේ.

    ගරු කතානායකතුමනි,

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේදැයි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමයි.

    ශ්‍රී ලංකා රජය 2025 සැප්තෑම්බර් මස අග වන විට ඩොලර් මිලියන 22.9 ක ණය මුදලක් ගෙවීමට තිබු රටකට, ණය පියවීමක් ලෙස ඉන් කොටසක් එනම්, ඩොලර් මිලියන 2.5 ක මුදලක්, මහා භාණ්ඩාගාරය විසින් 2005 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල විසින් පියවා ඇත. එම මුදල් අදාළ ණයකරු (රට) වෙත නොව, පරිගණක හැකර් කෙනෙකු (හෝ තුන්වන පාර්ශවයකට) වෙත හෝ යොමු කර ඇති බව දැනගන්නට ඇත.

    දැන්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ‘තාක්ෂණික විමර්ශන කමිටුවක්’ 2026.03.24 ක් හෝ ඒ ආසන්නයේ පත් කර ඇත. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියෙකු ගේ වැඩ තහනම් කර ඇත.

    ඔබතුමන් දන්නා පරිදි, මෑතක් වන තුරුම විදේශ ණය, ‍වාරික සහ පොලිය නැවත ගෙවීම් කටයුතු සිදු කරනු ලැබූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. නව මුදල් පනත සම්මත වීමෙන් පසුව එම වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරුණි. ඒ අනුව මෙම ගෙවීම සම්බන්ධයෙන් ලේඛන සකස් කර ඇත්තේ ද, ගෙවීම් සිදු කර ඇත්තේ එම ආයතන විසිනි.

    ඩොලර් මිලියන 2.5 ක ගෙවීම් සිදු කිරීමට නියෝජ්‍ය භාණ්ඩගාර ලේකම්වරයෙකුට, ගණකාධිකාරිවරියට හා පරිගණ අං‍‍ශයේ නිලධාරියෙකුට පමණක් හැකියාව නැත. ඒ සඳහා අනිවාර්යයෙන්ම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් (DST) සහ භාණ්ඩාගාර ලේකම්වරයා ද සම්බන්ධ විය යුතුය.

    රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුව වෙත ය. දැනට මෙම විමර්ශනය සිදු කරමින් ඇත්තේ ණය ගෙවීම පිළිබඳ අවසන් වගකීම දරණ අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයෙකු යටතේ ය. ඔහු මෙම විමර්ශනය කරන අතරම තවදුරටත් අදාල දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු මෙහෙයවයි.

    මහා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් වන වගකීම දරණ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ද වන බැවින් මේ පිළිබඳව වන විමර්ශනය මුදල් අමාත්‍යාංශ/භාණ්ඩාගාරයෙන් පරිබාහිර කණ්ඩායම් විසින් සිදු කළ යුතුව ඇති බව අපගේ විශ්වාසයයි.

    එබැවින්, රාජ්‍ය මුල්‍ය වගකීම දරණ පාර්ලිමේන්තුව විසින් සුදුසු ක්‍රමවේදයක් හරහා මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    මෙයට විශ්වාසී,

    ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
    සභාපති / ‍ෆී ලෝයර්ස් සංවිධානය ‍

    පිටපත්
    1. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකවරුන්/මහලේකම්වරු
    2. පාර්ලිමේන්තු මුදල් කාරක සභාව
    3. විගණකාධිපති, ජාතික විගණන කොමිෂන් සභාව
    4. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා - සභාපති, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කමිටුව