April, 27, 2026
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), 2025 වසරේදී සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්, ප්‍රධාන මූල්‍ය ක්ෂේත්රවල ඉහළ ප්‍රතිඵල අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගම ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන ඇත. තරඟකාරී සහ අභියෝගාත්මක වාතාවරණයක් හමුවේ වූවද, තවදුරටත් ශක්තිමත්ව කටයුතු කරමින්, රුපියල් බිලියන 30.3 ක දළ ලිඛිත රක්ෂණ වාරික (Gross Written Premium - GWP) ආදායමක් පවත්වා ගනිමින්, තම ව්‍යාපාරික ශක්තිය මැනවින් පෙන්නුම් කිරීමට සමාගම සමත්ව තිබේ.
SLIC General හි නව රක්ෂණවල අගය 2024 වසරේ පැවති රුපියල් බිලියන 8.3 සිට රුපියල් බිලියන 12.5 දක්වා 51% කින් වර්ධනය වී ඇති අතර, ඒ මගින් ශක්තිමත් වෙළඳපොළ ඉල්ලුම, වර්ධනය වන පාරිභෝගික විශ්වාසය සහ සමාගම සතු බෙදා හැරීමේ ජාලයේ ව්‍යාප්තිය මනාව පිළිබිඹු කරයි. සමාගම විසින් රුපියල් බිලියන 12.3 ක මුදලක් රක්ෂණ හිමිකම් සහ ප්රතිලාභ වශයෙන් ගෙවා ඇති අතර, එය 17% ක වර්ධනයකි. මෙම සංඛ්‍යා දත්ත මගින් 'දිත්වා' සුළි කුණාටුවේ බලපෑම හමුවේ රක්ෂණ ඔප්පු හිමියන් වෙත ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය ලබා දීමට SLIC General දක්වනු ලැබූ කැපවීම මෙන්ම, අවදානම් ආරක්ෂාව සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ පළමු තේරීම බවට SLIC General පත්වීම කෙරෙහි පවතින විශ්වාසයද මෙයින් මනාව පිළිබිඹු විය.
රජයට ගෙවන ලද බදු දායකත්වය රුපියල් බිලියන 5.7ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව 66%ක වර්ධනයකි. මේ තුළින් සමාගමේ වර්ධනය සහ ජාතික ආදායමට දක්වන දායකත්වයේ ප්‍රමාණය ඉස්මතු කරයි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස තවදුරටත් සිය ස්ථානය තහවුරු කර ගනිමින් සමාගම, 2024 වසරේ දී පැවති 19.4% ක සිය සමස්ත වෙළඳපොළ කොටස 20.2% දක්වා වර්ධනය කර ගැනීමට සමත් විය.
මෝටර් රථ රක්ෂණ අංශය ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්, එහි වාරික ආදායම පෙර වසරට සාපේක්ෂව 29.7% ක වර්ධනයක් ලැබූ අතර එමගින් 'Motor Plus' මෙරටේ අංක එකේ මෝටර් රථ රක්ෂණය ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන ඇත. තවද, ගිනි සහ ඉංජිනේරු, සමුද්‍රීය, වෛද්‍ය සහ සාමාන්‍ය අනතුරු යන ක්ෂේත්‍ර ඇතුළත් මෝටර් නොවන රක්ෂණ අංශය 6.7% ක වර්ධනයක් වාර්තා කළේය. මෙය සමස්ත ක්ෂේත්රයේ තුළ සාමාන්‍ය වර්ධනය අභිබවා යාමක් වූ අතර SLIC General සතු විවිධ රක්ෂණ සැලසුම් එකතුවෙහි පවතින ශක්තිමත් බව මෙයින් තවදුරත් විදහා දැක්වේ. එමෙන්ම, රජයේ සුරැකුම්පත්වල රුපියල් බිලියන 12.8 ක් ආයෝජනය කිරීම ඇතුළු උපායමාර්ගික ආයෝජන හරහා SLIC General සිය මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, සමාගමේ වත්කම් ප්‍රමාණය සහ ජාතික ආර්ථික ස්ථාවරත්වය උදෙසා දක්වන සක්‍රීය දායකත්වය මනාව පෙන්නුම් කෙරිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් SLICGL හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළේය. ''අභියෝගාත්මක වටපිටාවක් හමුවේ වුවද, අඛණ්ඩ වර්ධනයක් අත්කර ගැනීමට අපට ඇති හැකියාව පිළිබඳව SLIC General හි 2025 ප්‍රතිඵල මගින් මනාව පෙන්නුම් කරනවා. දිත්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ව්‍යසන තත්ත්වයන් හමුවේ වුවද, අපගේ දූරදර්ශී ප්රතිරක්ෂණ කළමනාකරණය සහ ක්‍රමවත් උපායමාර්ගය මත ලාභදායීත්වය අතින් ශක්තිමත්ව සිටීමට අපට හැකි විය. SLIC General හි පාරිභෝගිකයා මත පදනම් වූ ප්‍රවේශය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය මගින් අපගේ වෙළඳපොළ නායකත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙම ජයග්‍රහණ හරහා රක්ෂණ ඔප්පු හිමියන් අප කෙරෙහි තැබූ විශ්වාසය මෙන්ම අපගේ කණ්ඩායම්වල කැපවීම ද මැනවින් පිළිබිඹු විය."
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති නුසිත් කුමාරතුංග මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ''2025 වසරේ අප ලැබූ ඉහළ මට්ටමේ කාර්ය සාධනය, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අප සතුව ඇති කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමකි. දූරදර්ශී බවින් යුත් අවදානම් කළමනාකරණය සහ නවතාවයන් මුසු කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට දායකත්වය ලබා දෙමින්, විශිෂ්ට සේවාවක් සැපයීම සඳහා නව ප්රමිතීන් බිහිකිරීමට අප තවදුරටත් ක්‍රියා කිරීමට පියවර ගන්නවා.''
‘දිත්වා' සුළි කුණාටුවෙන් අනතුරුව, SLIC General විසින් අඛන්ඩව සේවාවන්, සෘජු ආධාර ලබා දීම් සහ මූල්‍ය ආධාර සහිත පුළුල් සහන සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. ආපදාවෙන් පසු, ප්‍රජාවන් වෙත නැවත යථා තත්ත්වයට පත්වන කාලසීමාව තුළ රක්ෂණ සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි, තෝරාගත් ශාඛාවල සේවා කාලය දීර්ඝ කිරීමටත්, අමතර සෙනසුරාදා දිනවල එම ශාඛා විවෘතව තැබීමටත් පියවර ගැනුණි. ඒ හරහා පීඩාවට පත් පවුල්වලට රක්ෂණ හිමිකම් කළමනාකරණය කර ගැනීමට සහ අවශ්‍ය සහාය ලබා ගැනීමට හැකි විය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ආයතන එක්ව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ වැඩසටහනක් යටතේ, ගංවතුරෙන් පීඩාවට පත් පාසල්, පූජනීය ස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය කළමනාකරුවන් ඇතුළු ස්වේච්ඡා කණ්ඩායම් බලමුලු ගන්වන ලදී. ඒ හරහා අපිරිසිදු ජලය ආශ්‍රිතව පැතිරෙන ලෙඩ රෝග වලින් සහ හදිසි ආපදා අනතුරු වලින් ප්‍රජාවන් ආරක්ෂා කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට පියවර ගන්නා ලදී.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (National Disaster Relief Services Centre - NDRSC) සමඟ ඒකාබද්ධව, SLIC General විසින් 2025 නොවැම්බර් 30 සහ දෙසැම්බර් 02 යන දිනවල අදියර දෙකක් යටතේ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරනු ලැබූ අතර, මහරගම සහ දිවුලපිටිය යන ප්‍රදේශවල පවුල් 1,000ක් සඳහා වියළි සලාක මලු බෙදා දීමට කටයුතු කරන ලදී. විපතට පත් වූ ජනතාව නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහ නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා සහාය වෙමින්, සමාගම සහ එහි සේවකයින් මූල්‍යමය වශයෙන් දායකත්වය ලබා දුන් අතර, එම මූල්‍ය පරිත්‍යාගයන් ජාතික ගොඩනැඟීමේ කටයුතු සඳහා දායක කිරීමේ අරමුණින්, 2026 ජනවාරි මාසයේදී මහා භාණ්ඩාගාරය වෙත භාර කරන ලදී.
SLIC General 2026 වසර වෙත අවතීර්ණය වන විට, නවෝත්පාදනය, ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගික සබඳතා පිළිබඳව මෙන්ම, මෝටර් රථ සහ මෝටර් රථ නොවන රක්ෂණ ක්ෂේත්රයන්හි සිය නායකත්වය පවත්වා ගැනීම කෙරෙහි ද අවධානය යොමු කරයි.
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය සහ ජනාදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස තම භූමිකාව තවදුරටත් ශක්තිමත් කරමින්, SLIC General සමාගම වගකිවයුතු ආයතනික පුරවැසිභාවය වෙනුවෙන් අඛණ්ඩව පෙරමුණ ගනිමින් කටයුතු කරයි. කෙසේ වූවද, මෙහි මූලික පදනම වන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය සාමාන්‍ය රක්ෂණ සන්නාමය සහ, සමාජයට වගකීම් ඉටු කරන ආයතනයක් ලෙස දක්වන අඛණ්ඩ කැපවීමයි.
Video Story