ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026–2030) සමාලෝචනය සඳහා ADB නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට

    April, 28, 2026

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. රජයේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණයි.

    මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, වෙළඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති මත පදනම් වූ ණය වැඩසටහන (PBL) යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් 2026 අප්‍රේල් 27 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. මෙයට අදාළව අප්‍රේල් 27 වනදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී ADB නියෝජිත පිරිස අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හමු විය.

    මෙම සාකච්ඡාවලදී ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සහ එය නිල වශයෙන් දියත් කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම, සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) අපේක්ෂිත තාක්ෂණික සහාය හඳුනා ගැනීම මෙන්ම මෙම සැලැස්ම සාර්ථකව ආරම්භ කිරීම සඳහා ගත යුතු වහාම ක්‍රියාත්මක වන පියවර පිළිබඳව එකඟතාවයකට පැමිණීම යන ප්‍රධාන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

    මෙම වැඩසටහන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ සමීප සහයෝගයෙන් ක්‍රියාත්මක වන අතර, එහි මූලික ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සහ අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමයි.

    මෙහිදී ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ රාමුව පිළිබඳවද දෙපාර්ශවය දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. ඒ යටතේ ඉහළ මට්ටමේ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම, ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (PMU) ස්ථාපිත කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ශක්තිමත් වාර්තාකරණ පද්ධතියක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු විය.

    මෙම මෙහෙයුම ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින හවුල්කාරිත්වය ශක්තිමත් කරන වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙම සැලැස්ම ක්‍රමානුකූලව සහ ප්‍රතිඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමටත්, ඒ හරහා දිගුකාලීන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමටත් අපේක්ෂා කෙරේ.