May, 4, 2026
මැද පෙරදිග පවතින යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ගණන් සහ ආනයන පරිමාවන් ඉහළ යෑම මත 2026 වසරේ මාර්තු මාසයේ දී ඉන්ධන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 630ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 74.7%කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ලද නවතම 2026 මාර්තු - විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව 2026 මාර්තු මාසයේ සමස්ත ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 630.1ක් ලෙසින් වාර්තා වන අතර එය 2025 මාර්තු මාසයේ දී ඉන්ධන ආනයනය වෙනුවෙන් කළ ඩොලර් මිලියන 360.7ක සමස්ත වියදම හා සැසඳීමේ දී 74.7%ක ඉහළ යාමක් වේ.
මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පිරිපහදු කරන ලද ඉන්ධන ආනයන වියදම දැවැන්ත ලෙස ඉහළ යාමයි. 2025 මාර්තු මාසයේ දී පිරිපහදු කළ පෙට්‍රොලියම් නිෂ්පාදිත ආනයන වියදම ඩොලර් මිලියන 258.4ක් ලෙසින් දැක්වුණු අතර 2026 මාර්තු මාසයේ දී එය ඩොලර් මිලියන 568ක් දක්වා 119.8%කින් ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත් 2026 මාර්තු මාසයේ දී බොරතෙල් ආනයන වියදම ඩොලර් මිලියන 60.6 සිට ඩොලර් මිලියන 44.1ක් දක්වා 27.2%කින් සහ ගල්අඟුරු ආනයන වියදම ඩොලර් මිලියන 41.7 සිට ඩොලර් මිලියන 18ක් දක්වා 56.7%කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අනාවරණය කරයි.
සමස්තයක් ලෙස 2026 පළමු කාර්තුවේ දී ඉන්ධන ආනයනය වෙනුවෙන් දරා ඇති වියදම ඩොලර් මිලියන 1,056.7 සිට ඩොලර් මිලියන 1,281.5ක් දක්වා 21.3%කින් වැඩි වී ඇති අතර ප්‍රධාන වශයෙන් පිරිපහදු කරන ලද පෙට්‍රොලියම් නිෂ්පාදිත ආනයනය ඩොලර් මිලියන 724.4 සිට ඩොලර් මිලියන 1,019.7 දක්වා 40.8%කින් ඉහළ යාම ඊට හේතු වී ඇත.
Video Story