ACAP කොටස් තැරැව්කාර සමාගම ක්‍රමෝපායික ව්‍යාපාර පරිවර්තනයක් සමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන තවදුරටත් ශක්තිමත් කිරීමට සැරසෙයි

    May, 6, 2026

    ACAP Stockbrokers (පුද්.) සමාගම මේ වන විට Stallion Consultancy සමාගමේ භාරකාරීත්වය යටතේ සිය ආයතනික ගමන් මඟේ නව අදියරක් වෙත පිවිසෙමින් සිටී. ඒ සේවාදායකයන් මූලික කරගත් ආයෝජන උපදේශන සම්ප්‍රදායේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමිනි.

    මේ සම්බන්ධ විශේෂ මාධ්‍ය හමුවක් 2026 මැයි 05 දින පැවැත්වුණු අතර, එහිදී ACAP Stockbrokers (පුද්.) සමාගමේ නව සන්නාම අනන්‍යතාව අනාවරණය කරන ලදි. එමෙන්ම එහිදී සමාගම පර්යේෂණ කෙරෙහි වැඩි නැඹුරුවක් සහිත ප්‍රවේශයක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව අනාවරණය කරන ලද අතර, සමාගමේ ප්‍රමුඛතා, ඉලක්ක සහ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සම්බන්ධ සැලසුම්ද එළිදක්වන ලදි.

    ACAP යනු දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු සිදු කළ සමාගමකි. කොළඹ කොටස් වෙළඳපොළේ බලපත්‍රලාභී සාමාජික සමාගමක් වන එය ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නියාමන අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ වෙත සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදෙන සමාගමක් ලෙස සේවාදායකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට ACAP සමත් වී ඇත. උසස් තත්වයේ පර්යේෂණ සිදුකරමින්, සේවාදායකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදෙන අතරම ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සමාගම මෙම නව සන්නාම අනන්‍යතාව හඳුන්වා දී තිබේ.

    මෙම මාධ්‍ය හමුවේදී සමාගමේ නව කළමනාකාරීත්ව කණ්ඩායමද අනාරවරණය කරන ලදි. ශක්තිමත් ක්‍රමෝපායක දිශානතියකින් යුතුව පැහැදිලි දීර්ඝකාලීන දැක්මක් මූලික කරගනිමින් සමාගමට නායකත්වය දීමට මෙම කණ්ඩායම සූදානමින් සිටී.

    “ශක්තිමත් ආයතන ගොඩනැගෙන්නේ විනය, විශ්වාසය හා අඛණ්ඩතාව ඔස්සේ කාලයත් සමඟ ක්‍රමානුකූලව බව අප විශ්වාස කරනවා. අප උත්සාහ කරන්නේ විශිෂ්ට සේවාවක්, උසස් තත්වයේ පර්යේෂණ සහ ශක්තිමත් සම්බන්ධතා ඔස්සේ දීර්ඝකාලීන වර්ධනයක් අත්පත් කරගැනීමයි. කොළඹ කොටස් වෙළඳපොළ තුළ සාර්ථක වීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන්ට අවස්ථා උදාකර දීම අපගේ ප්‍රධානතම ඉලක්කය වී තිබෙනවා.” ACAP Stockbrokers (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මලික් ප්‍රනාන්දු මහතා පැවසීය.

    2025 වසර මුළුමහත් ලෝකයටම අභියෝගකාරී වසරක් වුවද, එම වසර තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වයක් සහිත මායිම් වෙළඳපොළක් (Frontier Market) ලෙස 40% කට වැඩි ප්‍රතිලාභ ලබාදීමට කොළඹ කොටස් වෙළඳපොළ සමත් විය. දේශය නැවත ගොඩනැංවීම සඳහා මෙන්ම දීර්ඝකාලීන ආර්ථික ශක්තිය හා වර්ධනය තහවුරු කිරීම සඳහා රටට ලැබුණු ආයෝජන මහෝපකාරී වූ අතර, එය විශේෂයෙන්ම රටින් පිටත වෙසෙන ශ්‍රී ලාංකික ආයෝජකයන්ට පෞද්ගලික ප්‍රතිලාභ හිමිකරගන්නා අතරම රටේ දියුණුවට දායක වීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. මේ ආකාරයට ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ යාමේ ප්‍රවණතාව යහපත් ලෙස භාවිතා කරමින්, රට තුළ පවතින ආයෝජන අවස්ථා සිය දේශීය හා ජාත්‍යන්තර සේවාදායකයන් වෙත දිගින් දිගටම හඳුන්වා දීමට ACAP බලාපොරොත්තු වෙයි.

    හුදෙක් වේගයෙන් තම මෙහෙයුම් කටයුතු පුළුල් කරනු වෙනුවට ACAP සමාගම තෝරාගෙන ඇත්තේ අඛණ්ඩතාව, විශ්වාසය හා කාර්යසාධනය යන ගුණාංගවලට මුල්තැන දෙමින් වඩාත් විධිමත් හා ස්වාභාවික වර්ධනයක් අත්පත් ගැනීමේ ප්‍රවේශයකි. ඉදිරියටත් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල් තුළ තිරසාර වර්ධනයක් අත්පත් කරගැනීමට සමාගම කැප වී සිටී.

    ACAP සමාගමේ නව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම අංගයක් වන්නේ පර්යේෂණ හා විශ්ලේෂණ කටයුතු සඳහා මුල්තැන දීමය. තම පර්යේෂණ කණ්ඩායම හරහා ආයෝජකයන්ට පැහැදිලි, විශ්වාසනීය සහ ප්‍රායෝගිකව පියවර ගත හැකි වෙළඳපොළ බුද්ධි තොරතුරු ලබාදෙමින්, ඔවුන්ට තම ආයෝජන තුළින් උපරිම ප්‍රයෝජන හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම සමාගමේ ඉලක්කයයි.

    මීට සමගාමීව විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සම්බන්ධයෙන්ද පැහැදිලි අවධානයක් යොමුකිරීමට සමාගම සැලසුම් කර ඇත. ක්‍රමයෙන් පුළුල් වන සිය ජාත්‍යන්තර සම්බන්ධතා ජාලය භාවිතා කරමින්, මායිම් වෙළඳපොළවල ආයෝජන අවස්ථා සොයමින් සිටින ආයෝජකයන් සමඟ සම්බන්ධ වෙමින්, ශ්‍රී ලංකාවට පිවිසීම සඳහා විශ්වාසනීය මඟපෙන්වන්නෙකු බවට පත්වීම සමාගමේ අරමුණ වී තිබේ.

    මෙම මාධ්‍ය හමුවේදී ACAP විසින්, රට තුළ ඉතාමත් හොඳින් නියාමනය වන සහ ආයෝජකයන්ට සුදුසු පරිසරයක් පවත්වාගෙන යාම සඳහා ඉටුකරන තීරණාත්මක භූමිකාව වෙනුවෙන් කොළඹ කොටස් වෙළඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත සිය ස්තූතිය පළකරන ලදි. ආයෝජකයන් තුළ විශ්වාසය තහවුරු කරමින් වෙළඳපොළේ තිරසාර දියුණුවක් ඇතිකිරීම සඳහා මෙම ආයතන මඟින් සුවිශාල මෙහෙවරක් ඉටු වේ.

    සිය ආයතනික ගමන් මගේ නව යුගයක ආරම්භය සනිටුහන් කරන මේ මොහොතේ, ගනුදෙනුකරුවන්ට ප්‍රමුඛත්වය දෙන දැක්මක් ඔස්සේ, තම වර්තමාන සේවාදායකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙන අතරම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල් වෙත වැඩි වැඩියෙන් විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට ACAP සූදානමින් සිටී.

    ඡායාරූප (වමේ සිට): ACAP Stockbrokers අධ්‍යක්ෂ ජයසංඛ අලහේන්ද්‍ර, අධ්‍යක්ෂ ආචාර්ය මනිල් ප්‍රනාන්දු, කළමනාකාර අධ්‍යක්ෂ මලික් ප්‍රනාන්දු, සභාපති ස්ටෙෆාන් අබේසිංහ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රුවන් රුද්‍රිගෝ

    ACAP Stockbrokers කළමනාකාර අධ්‍යක්ෂ මලික් ප්‍රනාන්දු

    ACAP Stockbrokers සභාපති ස්ටෙෆාන් අබේසිංහ

    ACAP Stockbrokers අධ්‍යක්ෂ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු

    ACAP Stockbrokers කණ්ඩායම