May, 8, 2026
ශ්‍රී ලංකාවේ සාගර දැනුම් පදනම ශක්තිමත් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක අවසානය සනිටුහන් කරමින් Dr. Fridtjof Nansen පර්යේෂණ නෞකාව දේශීය මුහුදු තීරයේ සමුද්‍රීය විද්‍යාත්මක සමීක්ෂණයක් සාර්ථකව සම්පූර්ණ කර කොළඹින් පිටත්විය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහ නෝර්වේ රාජ්‍යයේ EAF-නැන්සන් වැඩසටහනේ (EAF-Nansen Programme) කොටසක් ලෙස, මෙම නෞකාව මත්ස්‍ය සම්පත, සමුද්‍රීය පරිසර පද්ධති සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන් පිළිබඳ වටිනා විද්‍යාත්මක දත්ත රැස් කරමින් සති කිහිපයක් කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සම්පත් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට එය දායක විය.
"මෙම සමීක්ෂණය සාර්ථකව සම්පූර්ණ කිරීම ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කරයි" යනුවෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේය. "මෙමගින් ලබාගත් විද්‍යාත්මක අවබෝධය අපගේ සමුද්‍රීය සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීම සහ ඒ මත යැපෙන ජීවනෝපායන් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වනු ඇත."
එක්සත් ජාතීන්ගේ කොඩිය යටතේ යාත්‍රා කරන එකම පර්යේෂණ නෞකාව වන Dr. Fridtjof Nansen නෞකාව ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා සුවිශේෂී වේදිකාවක් ලෙස ක්‍රියා කරයි. හවුල්කාර රටවල පර්යේෂකයන් සහ ධීවර කළමනාකරණ ආයතන එක්රැස් කරමින්, සමුද්‍රීය සම්පත් සහ පරිසර පද්ධති පිළිබඳ තීරණාත්මක දැනුම ජනනය කිරීම සඳහා එය උසස් තාක්ෂණයෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාව වැනි රටවලට දැනුම්වත් මෙන්ම විද්‍යාත්මක පදනමක් සහිත තීරණ ගැනීමට එය සහාය වේ. ධීවර විද්‍යාව සහ සාගර විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ජාතික ශක්‍යතාව වර්ධනය කරමින් ශ්‍රී ලාංකික පර්යේෂකයන්ට ප්‍රායෝගික පුහුණු අවස්ථා ද ඒ මගින් ලබා දෙන ලදි.
"කළමනාකරණ තීරණ දැඩි ලෙස විද්‍යාව මත පදනම් වූ තිරසර සාගර සැලසුම්කරණයට සහාය වීම සඳහා EAF-නැන්සන් වැඩසටහන හරහා ශ්‍රී ලංකාව සහ FAO සමඟ හවුල් වීමට ලැබීම පිළිබඳව නෝර්වේ රාජ්‍යය ආඩම්බර වේ", යනුවෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව, භූතානය සහ මාලදිවයින සඳහා නෝර්වේ තානාපතිනි ගරු මේ-එලින් ස්ටෙනර් මහත්මිය ප්‍රකාශ කළාය. "Dr. Fridtjof Nansen පර්යේෂණ නෞකාව ජාත්‍යන්තර සහයෝගීතාව, දැනුම බෙදාගැනීම සහ ශක්‍යතා සංවර්ධනය සඳහා වූ දිගුකාලීන කැපවීම නියෝජනය කරයි. මෙම මෙහෙයුම හරහා ජනනය කරන ලද දත්ත සහ විශේෂඥතාව සාගරය මත යැපෙන ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට සහාය වන අතරම ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට සහ සමුද්‍රීය පරිසර පද්ධති ආරක්ෂා කිරීමට දායක වනු ඇත."
මෙම සමීක්ෂණයේදී සාගරයේ මතුපිට මෙන්ම පතුලේ වෙසෙන මත්ස්‍ය ගහන ඇගයීමට ලක් කරන ලදි. ඊට අමතරව ජලයේ උෂ්ණත්වය, දියවැල්, පෝෂක මට්ටම් සහ ද්‍රාව්‍ය ඔක්සිජන් වැනි ප්‍රධාන සාගර විද්‍යාත්මක දත්ත ද රැස් කරන ලදි. තවද, දැල්ලන් වැනි (cephalopods) සහ මධ්‍ය සාගර කලාපීය (mesopelagic) විශේෂ ද ඇතුළුව ප්‍රමාණවත් ලෙස භාවිතයට ගෙන නොමැති සමුද්‍රීය සම්පත්වල විභවතාව ගවේෂණය කරන ලදි. මුහුදු ආහාරවල පෝෂණ හා අපවිත්‍රකාරක විශ්ලේෂණයට සමගාමීව ක්ෂුද්‍ර ප්ලාස්ටික් ද ඇතුළුව සමුද්‍රීය දූෂණය පිළිබඳව ද පරීක්ෂා කරන ලදි.
1978 සහ 1980 අතර කාලය තුළ මෙන්ම මෑතකදී 2018 වසරේ සිදු කරන ලද පෙර ගවේෂණ මත පදනම් වෙමින්, නැන්සන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදු කළ පස්වැනි විද්‍යාත්මක සමීක්ෂණය මෙම මෙහෙයුම මගින් සනිටුහන් කරයි. පරිණාමය වන සමුද්‍රීය පරිසර පද්ධති සහ වෙනස් වන මත්ස්‍ය සම්පත් ගතිකත්වයන් හමුවේ යාවත්කාලීන කරන ලද දත්ත විශේෂයෙන් වැදගත් වේ.
මෙම සමීක්ෂණය ශ්‍රී ලාංකික ආයතන සමඟ සමීප සහයෝගීතාවයෙන් යුතුව ක්‍රියාත්මක කරන ලදි. ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA) විද්‍යාඥයන් එහි විද්‍යාත්මක කටයුතුවලට නායකත්වය දුන්හ. නෞකාව මෙහෙයවන මෙන්ම එහි විද්‍යාත්මක ක්‍රියාකාරකම් හා පුහුණුවීම් සඳහා වගකීම දරන නෝර්වේ සමුද්‍රීය පර්යේෂණ ආයතනයේ (IMR) විශේෂඥයන් සහ කාර්ය මණ්ඩලය විසින් ඊට සහාය ලබා දෙන ලදි. "Dr. Fridtjof Nansen නෞකාව පිටත්ව යාම අවසානයක් නොව දත්ත විශ්ලේෂණයේ සහ භාවිතයේ තීරණාත්මක අදියරක ආරම්භය සනිටුහන් කරයි" යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා ප්‍රකාශ කළේය. "මෙම සොයාගැනීම් තිරසර ධීවර කර්මාන්තය සහ ඔරොත්තු දෙන සමුද්‍රීය පරිසර පද්ධති ප්‍රවර්ධනය කරන ඵලදායී ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වීමට FAO ආයතනය අඛණ්ඩව කැපවී සිටියි."
ගෝලීය මුහුදු ආහාර වෙළඳපොළ වෙත ප්‍රවේශය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන සමුද්‍රීය ක්ෂීරපායීන් නිරීක්ෂණය කිරීමට අදාළ අවශ්‍යතා ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාර්තාකරණ බැඳීම් සඳහා ද මෙම සමීක්ෂණය දායක වේ.
මතු පරම්පරා ගණනාවක් සඳහා ශ්‍රී ලංකාවේ සාගර සම්පත්වල තිරසර භාවිතය සහතික කරමින්, අනාගත ධීවර කළමනාකරණ උපායමාර්ග සහ ප්‍රතිපත්ති සංවර්ධනයට මගපෙන්වීම සඳහා මෙම මෙහෙයුමේ සොයාගැනීම් විශ්ලේෂණය කර ජාතික පාර්ශ්වකරුවන් වෙත ඉදිරිපත් කරනු ඇත.
Video Story