ශ්‍රී ලංකාවේ සුහුරු තාක්ෂණ අනාගතයට පෙරමුණ දීමට, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය ඇතුළත් ඉංජිනේරු උපාධියක්

    May, 8, 2026

    -ශ්‍රී ලංකාවේ ප්‍රථම AI-තාක්ෂණය ඇතුළත් ඉංජිනේරු උපාධිය සඳහා SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ සහයෝගීතාවයකට එළැඹේ-

    ශ්‍රී ලංකාවේ විශ්වසනීය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ඔවුන්ගේ ‘තාක්ෂණික සහකරු’ ලෙසින් හවුල්කාරීත්වයක් අරඹමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික හා බුද්ධිමත් පද්ධති සම්බන්ධ ඉංජිනේරු විද්‍යාව විෂයෙහි පිරිනැමෙන ඉංජිනේරු විද්‍යා ගෞරව උපාධිය හඳුන්වා දීමට සැරසී සිටී. මෙම නව උපාධි පාඨමාලාව මගින්, බුද්ධිමත් තාක්ෂණයන්ගෙන් බලගැන්වෙන අනාගතයකට නායකත්වය දීම සඳහා ඉදිරි පරපුරක ඉංජිනේරුවරුන් නිර්මාණය කරනු ඇත.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉදිරිපත් වන මෙම උපාධි වැඩසටහන 2026 අගෝස්තු මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව, කෘතිම බුද්ධි තාක්ෂණයන් (AI) සමඟ ඒකාබද්ධ කිරීමට සැලසුම් කර තිබෙන මෙම වැඩසටහනින්, බුද්ධිමත් තාක්ෂණයන්හි අනාගත අදියර හැඩගැස්වීම සඳහා උපාධිධාරීන් සූදානම් කෙරෙනු ඇත. එසේම, මෙම උපාධිය, උසස් AI තාක්ෂණයන්, සමෝධානිත පද්ධති සහ ස්වයංක්‍රීයකරණ තාක්ෂණයන් සමඟ ගැඹුරු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දැනුම ඒකාබද්ධ කිරීමෙන්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට නව පරිවර්තනයක් හඳුන්වා දීම සඳහා සැලසුම් කර ඇත.

    මෙම උපාධි වැඩසටහන සමගින් සිසුන්, රොබෝ තාක්ෂණය, ක්වොන්ටම් පරිගණකකරණය, cloud පහසුකම් මත පදනම් වූ AI තාක්ෂණයන් සහ තිරසාර තාක්‍ෂණයන් ඇතුළු ලෝකයේ පවතින අති නවීන තාක්ෂණික ක්ෂේත්‍රයන්ට ප්‍රවේශයක් ලබා ගනු ඇත. එසේම, ව්‍යාපෘති වල නියැළෙමින් ඉගෙනීමට, කාර්මික පුහුණුව ලැබීමට සහ පර්යේෂණ වැඩසටහන් ඇරඹීමටද ඔවුන්ට ඉඩ හසර උදා වනු ඇත. මෙම වැඩසටහනට සහාය ලබාදීම සඳහා විශ්ව විද්‍යාලය විසින්, එම පීඨය තුළ PFLOPS-class GPU cluster එකක්ද ඇතුළුව උසස් තාක්ෂණයන්ට අදාළ දෘඩාංග ගොඩනංවමින් සිටී. මීට අමතරව, AI තාක්ෂණයන්, ඩිජිටල් පරිවර්තනය සහ ජාතික මට්ටමේ උසස් තාක්ෂණික ව්‍යාපෘති සම්බන්ධයෙන් SLT-MOBITEL හි පවතින ප්‍රවීණත්වය සිසුන්ට වටිනා ප්‍රායෝගික අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට මඟ පාදා දෙනු ඇත.

    AI-තාක්ෂණයන්ගෙන් වැඩ ගැනීමට සූදානම් ඉංජිනේරුවරුන්ගේ මීළඟ පරම්පරාව සංවර්ධනය කිරීම යනු, රටවැසියන්ගේ ජීවිත වඩාත් දියුණු මට්ටමකට ගෙන ඒමටත්, ව්‍යාපාරයන් සවිබල ගැන්වීමටත්, එසේම ජාතික ප්‍රමුඛතාවන් ඉදිරියට ගෙන යන නවෝත්පාදනයන් හඳුන්වා දීමටත්, SLT-MOBITEL දක්වන කැපවීම තවත් ඉදිරියට ගෙන යන පියවරකි. දැනුම බෙදා ගැනීමත්, තාක්ෂණ ක්ෂේත්‍රයට දොරටු විවර කර දීමත්, එසේම තාක්‍ෂණික සහයෝගීතාවයනුත් ඔස්සේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ SLT-MOBITEL පවත්වන සම්බන්ධතාවය මත ගොඩනැංවෙන මෙම AI-තාක්ෂණයන් ඇතුළත් උපාධිය මගින්,  SLT-MOBITEL සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තාක්ෂණික සහකරු ලෙසට, SLT-MOBITEL විසින්, ප්‍රායෝගික පර්යේෂණයන්ට සහ තාක්ෂණික සංවර්ධනයට සහාය වීමෙන්, සිසුන්ට තාක්ෂණ ක්ෂේත්‍රයේ සීමාවාසික පුහුණු අවස්ථා ලබා දීමෙන් මෙන්ම, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, සමෝධානිත පද්ධති සහ ස්වයංක්‍රීයකරණ තාක්ෂණය ඒකාබද්ධ කෙරෙන ප්‍රායෝගික ලෝකයේ විසඳුම් හවුලේ නිර්මාණය කිරීම මගින්, මෙම උපාධි පාඨමාලාවේ සම්පූර්ණ ගමන් මග පුරාවටම සහාය ලබාදෙනු ඇත.

    ආරම්භයේ සිට මේ දක්වා, SLT-MOBITEL සමූහය, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට අඛණ්ඩව සහාය ලබාදී තිබෙන අතර, විශ්ව විද්‍යාලයන්ට ඩිජිටල් යටිතල පහසුකම් ලබාදීම සඳහා ආයෝජනය කිරීමටත්, ඊ-ඉගෙනුම් පර්යන්තයන් බලගැන්වීමටත්, එසේම අධ්‍යයන ආයතන සමඟ සහයෝගීතාවයෙන් සිදු කරන ව්‍යාපෘති ඔස්සේ නවෝත්පාදනයන් පෝෂණය කිරීමටත් කටයුතු කර ඇත. ඒ ආකාරයටම මෙම නව උපාධි වැඩසටහන මගින්ද, ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරුන්ගේ සහ නවෝත්පාදකයින්ගේ මීළඟ පරම්පරාව බලගැන්වීම සඳහා SLT-MOBITEL සමූහය දක්වන කැපවීම ඉස්මතු වේ. එසේම, එමඟින් ශ්‍රී ලංකාව තාක්ෂණික දියුණුවේ ඉදිරියෙන්ම සිටින බවද සහතික කෙරෙනු ඇත.

    මීට අමතරව, මෙම සහයෝගීතාවය මගින්, ශ්‍රී ලංකාව, ලෝකයේ බුද්ධිමත් පද්ධති සම්බන්ධ අධ්‍යාපනයේ ඉදිරියෙන්ම ස්ථානගත කෙරෙනු ඇත. ඒ ඔස්සේ, සදාචාර සම්පන්න සහ වගකීම් සහගත AI තාක්ෂණ භාවිතයන් තුළ පිහිටමින්, විදුලි සංදේශ සහ ජාලකරණ තාක්ෂණය, නිෂ්පාදනය සහ සිවුවෙනි කාර්මික විප්ලවය (Industry 4.0), සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය තාක්ෂණය, කෘෂිකර්මාන්තය සහ තාක්ෂණයෙන් බලගැන්වෙන ගොවිතැන් කටයුතු (precision agriculture), බලශක්තිය සහ උපයෝගීතාවයන්, ප්‍රවාහන සහ සැපයුම්, මූල්‍ය සේවා, ආරක්ෂක කටයුතු සහ මහජන ආරක්ෂණය, සිල්ලර වෙළඳ කටයුතු සහ පාරිභෝගිකයා සම්බන්ධ තාක්ෂණයන්, මාධ්‍ය සහ විනෝදාස්වාදය, අධ්‍යාපන සහ ඉගැන්වීම් තාක්ෂණයන්, ස්මාර්ට් නගර සහ ස්මාර්ට් යටිතල පහසුකම්, පාරිසරික අධීක්ෂණය සහ තිරසාරභාවය කේන්ද්‍ර කොටගත් නවෝත්පාදනයන්, යන සියලුම ක්ෂේත්‍රයන් ආවරණය කෙරෙන AI තාක්ෂණ විසඳුම් ගවේෂණය කිරීම සඳහා සිසුන්ව සවිබලගැන්වීම ද සිදුවනු ඇත.