City of Dreams Sri Lanka හි Nüwa අභිමානවත් 5-Star තත්වය හිමි කර ගනියි

    May, 11, 2026

    සියලු පහසුකම්වලින් සපිරි දකූණු ආසියාවේ පළමු ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තය වන City of Dreams Sri Lanka හි ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන Nüwa පසුගියදා සිය ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ ලොව පිළිගත් 5-Star පිළිගැනීම තමන් සතු කර ගනිමිනි. එම සුවිශේෂී කඩඉම සැමරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හා උත්සවයක් සංවිධානය කරමින් කලාපයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී සංචාරක ගමනාන්තය ලෙස සිය විශිෂ්ටත්වය යලි යලිත් තහවුරු Nüwa කිරීමට මෙහිදී කටයුතු කරන ලදී.

    Nüwa හි ආකර්ෂණීය Crystal Lounge හි පැවති මෙම සැමරුම් උත්සවය හා මාධ්‍ය හමුව සඳහා මෙරට සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, ජනමාධ්‍ය නියෝජිතයින් සහ City of Dreams Sri Lanka හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එක්ව සිටියහ. මේ තුලින් ප්‍රදර්ශනය වන්නේ ජාත්‍යන්තර මට්ටමේ සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වයයි.

    එසේම මෙම අවස්ථාව සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මැතිතුමා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතාද එක්ව සිටියේ සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස Nüwa හිමිකරගනු ලැබූ මෙම සුවිශේෂී පිළිගැනීම රටක් ලෙස මෙරට සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට සුවිසල් ශක්තියක් වනු ඇති බව පෙන්වා දෙමිනි.

    City of Dreams Sri Lanka හි අලෙවි ප්‍රධානී චාමිකා කරුණාරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ පැවති මැධ්‍ය හමුවකින් ඇරඹි එදින සන්ධ්‍යාවේදී මෙම සුවිශේෂී පිළිගැනීම පිළිබඳව City of Dreams Sri Lanka හි ජ්‍යෙෂ්ඨ කළළමනාකාරීත්වයේ අදහස්ද එක් කරන ලදී. එහි සාමාන්‍යාධිකාරී - දේපොල - මයිකල් හබාෂි මහතා සහ හෝටල් කළමනාකාරිණී තක්ෂිල ගලප්පත්ති මහතා අදහස් දක්වමින් Nüwa හි ගමන් මඟ සහ සුඛෝපභෝගී සේවාවන්හි නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමේ සිය දැක්ම පැහැදිලි කර සිටියහ. එසේම කොළඹ නගරය ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට මේ ආකාරයේ සුඛෝපභෝගී සංචාරක සේවාවන්හි වැදගත්කම පිළිබඳවද ඔවුන් අවධාරණය කරන ලදී.

    City of Dreams Sri Lanka හි ඇති ඉතා වැදගත් හා සුඛෝපභෝගී සංචාරක හෝටලය වන Nüwa හෝටල් සංකීර්ණයේ ඉහලින්ම පිහිටි අලංකාර කාමර සහ සූට්ස් 113කින් සමන්විත වේ. පෞද්ගලිකත්වය, විශිෂ්ට සේවාව සහ කොළඹ නගරයේ මෙන්ම ඉන්දියන් සාගරයේ අලංකාරත්වය රිසි සේ රස විඳීමේ අවස්ථාව උදා කර දෙන Nüwa, විශේෂිත ආහාර පාන, පෞද්ගලික සුවතා සේවා සහ ඉතා සුහදශීලී කාර්ය මණ්ඩලයකගේ සේවාව සමඟින් නව්‍යකරණ සුඛෝපභෝගී සංචාරක අත්දැකීමකට නව අරුතක් එක් කිරීමට සමත්ව ඇත.

    මෙදින විශේෂම අවස්ථාව වූයේ ලොව පිළිගත් 5-Star සම්මානය Nüwa වෙත නිල වශයෙන් පිළිගැන්වීමයි. මෙම සම්මානය හිමි කර ගැනීම වෙනුවෙන් වේදිකාවට එක් වූ සම්භාව්‍ය අමුත්තන්, හෝටල් කළමනාකාරීත්වය හා අංශ ප්‍රධානීන් සමූහ ඡායාරූපයකටද එක් විය.

    මෙහිදී අදහස් දැක්වූ මයිකල් හබාෂි මහතා “මෙම පිළිගැනීම Nüwa හෝටලයට පමණක් නොව මුලු මහත් ශ්‍රී ලංකාවේම සුඛෝපභෝගී සංචාරක සේවාව පිළිබඳව ආඩම්බර විය හැකි අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. මෙරටට සපැමිණෙන සුඛෝපභෝගී සේවාවන් අවැසි ජාත්‍යන්තර සංචාරකයින්ගේ අවශ්‍යතා සපුරාලමින් ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ විශිෂ්ටත්වය ලොවට පෙන්වා දීමට අපි කැපවී කටයුතු කරනවා. Nüwa හුදෙක් සුඛෝපභෝගී සංචාරක නවාතැනක් පමණක් නොව උසස් ජීවන රටාවක අත්දැක්ීම උරුමකර දෙන සුවිශේෂී ගමනාන්තයක් ලෙසත් පෙන්වා දිය හැකියි.” යනුවෙන් පැවසීය.

    Nüwa සන්නාමයේ ගෞරවණීය බව හා අභිමානය විදහා දක්වමින් සජීවී සංගීතමය අත්දැකීමක් සමඟින් මෙම ජයග්‍රහණයේ සතුට බෙදා හදා ගැනීමේ අවස්ථාව සියලු දෙනා වෙත උදා වූ අතර එය අලංකාර නර්තන අංගයන්ගෙන්ද හැඩ විය. එසේම පැමිණ සිටි සියලු දෙනාට සුඛෝපභෝගී බුෆේ අත්දැකීමක් රස විඳීමටද හැකියාව උදා විය.

    කලාපීය සංචාරක කර්මාන්තයේ නව මානයන් විවර කරමින් අසමසම සංචාරක අත්දැකීමක් උරුමකර දීමට කැපවන City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටලය වන Nüwa හිමි කරගත් මෙම සුවිශේෂී පිළිගැනීම ජාත්‍යන්තර තත්වයේ සංචාරක ගමනාන්තයක් ලෙස කොළඹ නගරය ඔසවා තැබීමේ සුවිසල් පියවරක් ලෙසද පෙන්වා දිය හැකිය.