May, 20, 2026
Ceylon Cold Stores PLC සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන සන්නාමයක් ලෙස සිය අනන්‍යතාවය යළිත් තහවුරු කරමින්, 2025 වසරේ පැවැති ‘National Chamber of Exporters of Sri Lanka සම්මාන උළෙලේ දී confectionery නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) රන් සම්මානය දිනා ගැනීමට සමත්විය. 2026 පෙබරවාරි 13 වන දින පැවැති මෙම සම්මාන උළෙලේදී, 2024/25 මූල්‍ය වර්ෂය තුළ සමාගම දැක්වූ විශිෂ්ට අපනයන කාර්යසාධනය සහ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීමට ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙලෙස ඇගයීමට ලක් කෙරිණි.
John Keells Holdings PLC සමූහයට අයත් අනුබද්ධිත සමාගමක් වන CCS, මෙරට ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 160කට අධික අභිමානවත් උරුමයකට හිමිකම් කියන අතර, එහි එලිෆන්ට් හවුස් සන්නාමය ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් දිනා ඇත. මෙම සමාගම වර්තමානය වන විට මාලදිවයින, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 16ක් සඳහා සිය නිෂ්පාදන අපනයනය කරන අතර, ඉන්දියාවේ ‘Reliance Consumer Products’ සමඟ ඇති කරගත් සහයෝගීතාවය හරහා එරට වෙළඳපොළ තුළ ද සිය පැවැත්ම ශක්තිමත් කරමින් සිටියි. නිෂ්පාදන නවෝත්පාදනය, ගුණාත්මක ප්‍රමිතීන් සහ ගෝලීය බෙදාහැරීමේ ජාලයන් පුළුල් කිරීම කෙරෙහි දක්වන සුවිශේෂී අවධානය මෙම ජාත්‍යන්තර ප්‍රගතියට මූලික හේතුව වී තිබේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා සඳහන් කළේ, ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී ලාංකීය සන්නාමයන් නිර්මාණය කිරීමට සහ ජාත්‍යන්තර වෙළඳපොළ වෙත අඛණ්ඩව ඉහළ වටිනාකමක් ලබා දීමට සමාගම සතු දීර්ඝකාලීන කැපවීම මෙම සම්මානය හරහා මනාව පිළිබිඹු වන බවයි.
අයිස්ක්‍රීම් අංශ ප්‍රධානී සහ අපනයන අංශයේ ප්‍රධානී සතිෂ් රත්නායක මහතා පවසා සිටියේ, වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමට සහ ප්‍රධාන කලාපයන්හි අපනයන හැකියාවන් ඉහළ නැංවීමට සිය කණ්ඩායම දරන නොපසුබට උත්සාහය මෙම සම්මානයෙන් ඇගයීමට ලක්ව ඇති බවයි.
තවද, විදේශීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ විවිධ පාරිභෝගික රුචිකත්වයන්ට ගැළපෙන අයුරින් නිෂ්පාදන සකස් කිරීම සමාගමේ අපනයන උපායමාර්ගයේ මධ්‍යය ලක්ෂ්‍යය බව ජාත්‍යන්තර අලෙවි ප්‍රධානී සුදන්ත වික්ටෝරියා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නව වෙළඳපොළවල් ගවේෂණය කිරීම, නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ නව්‍ය නිෂ්පාදන හඳුන්වා දීම හරහා සිය ගෝලීය අපනයන සලකුණ තවදුරටත් ව්‍යාප්ත කිරීමට Ceylon Cold Stores PLC අපේක්ෂා කරන අතර, ඒ හරහා ජාත්‍යන්තර confectionery ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය තවදුරටත් තහවුරු කිරීමට සමාගම කැපවී සිටියි.
Video Story