May, 22, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් හා මහජන බැංකුවට අනුබද්ධිතආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (PLC) ආයතනය, සිය 30 වැනි සංවත්සරය 2026 මැයි 31 වන දින අභිමානයෙන් සමරනු ලබයි. නව්‍ය මූල්‍ය විසඳුම් හරහා දිවයින පුරා සිටින පුද්ගලයින්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාර සවිබල ගැන්වූ දශක තුනක තිරසාර ගමනක් මින් සනිටුහන් වේ. පසුගිය වසර 30 තුළ, මූල්‍ය ඇතුළත් කිරීම්, පාරිභෝගික කේන්ද්‍රීය සේවාව සහ තිරසාර වර්ධනය කෙරෙහි දක්වන දැඩි කැපවීම හේතුවෙන් පීපල්ස් ලීසිං ආයතනය මූල්‍ය සේවා ක්ෂේත්රය තුළ ප්රමුඛ නාමයක් බවට පත්ව ඇත.
1996 වසරේදී මහජන බැංකුවේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස ආරම්භ වූ දා සිට, ලීසිං, ණය, ඉතුරුම් හා තැන්පතු සහ අනෙකුත් මූල්‍ය සේවාවන්හි ප්රමුඛයෙකු ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා සිය මෙහෙයුම් ජාලය ව්‍යාප්ත කිරීමට පීපල්ස් ලීසිං සමාගම සමත් වී ඇත. පුළුල් ශාඛා ජාලයක් සහ 3,000 කට අධික කැපවූ සේවක මණ්ඩලයක් සමඟින්, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (MSMEs), සහ තම අභිලාෂයන් ඉටුකර ගැනීමට විශ්වාසනීය මූල්‍ය හවුල්කාරීත්වයක් අපේක්ෂා කරන පුද්ගලයින්ට සහය වීම සඳහා ආයතනය තවදුරටත් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.
වසර ගණනාවක් පුරා පීපල්ස් ලීසිං සමාගම වෙනස් වන මූල්‍ය ක්ෂේත්රයට අනුගත වෙමින් සිය ස්ථාවරත්වය මූල්‍ය ක්ෂේත්රය පුරා විදහා දක්වා ඇත. ඩිජිටල්කරණය, මෙහෙයුම් විශිෂ්ටත්වය ශක්තිමත් කිරීම සහ ශක්තිමත් පාලන රාමුවක් පවත්වා ගැනීම හරහා, පුළුල් පරාසයක මූල්‍ය නිෂ්පාදන සහ සේවාවන්හි ප්‍රවේශය, කාර්යක්ෂමතාව සහ පාරිභෝගික අත්දැකීම් සාර්ථකව ඉහළ නැංවීමට පීපල්ස් ලීසිං සමාගම සමත්ව ඇත. මෙම කැපවීම නිසාම, දහස් සංඛ්‍යාත ගනුදෙනුකාර භවතුන් තම පෞද්ගලික සහ ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමට විශ්වාසය තැබිය හැකි මූල්‍ය හවුල්කරුවෙකු ලෙස රැඳී සිටීමට පීපල්ස් ලීසිං සමාගමට හැකි වී තිබේ.
මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති මහාචාර්ය අජන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, වසර 30 ක කාලයක් සනිටුහන් කිරීම යනු පාරිභෝගිකයින්, පාර්ශවකරුවන් සහ සමස්ථ ප්‍රජාව ආයතනය කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය සහ පක්ෂපාතීත්වය පිළිබඳ සාක්ෂියක් බවත්, තිරසාර හා නව්‍ය මූල්‍ය විසඳුම් හරහා ජාතික ආර්ථික සංවර්ධනයට සහය වන අතරම, මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීමේදී සමාගමේ භූමිකාව ශක්තිමත් කරන බවත් ය.
තවද, සමාගමේ සාර්ථකත්වය සඳහා කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කළ සේවක මණ්ඩලයට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා සිය කෘතවේදීත්වය පුද කල අතර, පසුගිය දශක තුනක කාලය තුළ පීපල්ස් ලීසිං සමාගමේ ගමන මෙහෙයවනු ලැබුවේ සාමූහිකත්වය, නවෝත්පාදනය සහ පාරිභෝගික අවධානය මත පදනම් වූ ශක්තිමත් සංස්කෘතියක් මගින් බව ඔහු අවධාරණය කළේය. පීපල්ස් ලීසිං සමාගම සිය පාරිභෝගිකයින්ට මූල්‍ය පහසුකම්, මූල්‍ය මගපෙන්වීම් සහ මූල්‍ය විනය ලබා දෙමින් ඔවුන්ගේ මූල්‍ය කටයුතු ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට සහාය වන බවත්, ඒ හරහා පාරිභෝගිකයින් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ පාරිභෝගිකයින් තම ව්‍යාපාර වර්ධනය වන විට නැවතත් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පීපල්ස් ලීසිං සමාගම වෙත පැමිණෙන අතර, එය ස්වයං රැකියා නියුක්තිකයින්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වන ආයෝජන චක්‍රයක් නිර්මාණය කරයි. තවද, පීපල්ස් ලීසිං සමාගමේ අරමුණ වනුයේ, සිය ඩිජිටල් නවීකරණයන් තවදුරටත් පුළුල් කිරීම, මූල්‍ය ප්‍රවේශය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීම වන බවත් පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා තව දුරටත් අවධාරණය කළේය.
පීපල්ස් ලීසිං හි විශිෂ්ටත්වය සහ ක්‍රියාකාරීත්වය අගයමින්, තිස් වසරක කාලය පුරාවට දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි වී ඇති අතර, එය මූල්‍ය සේවා කර්මාන්තය තුළ වඩාත් ශක්තිමත් කීර්තිය යළිත් තහවුර කරන අතර, මෙම ජයග්‍රහණ මගින් සේවා පාරිභෝගිකයින් හට සේවා සැපයීම, ආයතනික පාලනය, තිරසාර භාවය සහ නවෝත්පාදනය යන අංශවල ඉහළ ප්රමිතීන් පවත්වා ගැනීමට ආයතනය දරන අඛණ්ඩ උත්සාහය පිළිබිඹු වේ.
පීපල්ස් ලීසිං හි 30 වැනි සංවත්සරය ට සමගාමීව, ආයතනික සංවත්සර වසර පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවක් සැලසුම් කර ඇත. එහි පළමු වැඩහටහන වූ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා පැවැත්වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු විවෘත කිරීමේ සංකේතාත්මක උත්සවය (CSE Bell Ring), ප්‍රධාන කාර්යාලයේ හා ශාඛා ජාලයේ සේවකයින් සමඟ පවත්වන ප්‍රධාන සංවත්සර සැමරුම, 30 වැනි සංවත්සර සමරුම් මුද්දරයක් නිකුත් කිරීම, සේවක කුසලතා දැක්ම මෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක වන සමාජ සත්කාරක ව්‍යාපෘති (CSR) ද මීට ඇතුළත් වේ. මෙම මුලපිරීම් වල අරමුණ වන්නේ පීපල්ස් ලීසිං සමාගමේ කැපී පෙනෙන වර්ධනයට සහය වූ පුද්ගලයින්, හවුල්කාරීත්වයන් සහ ප්‍රජාවන් ඇගයීමට ලක් කිරීමයි.
වසර තිහක විශිෂ්ටත්වය සමරන පීපල්ස් ලීසිං සමාගම, පාරිභෝගිකයින්, සේවකයින් සහ සමස්ත ජාතිය වෙනුවෙන් තිරසාර වටිනාකමක් නිර්මාණය කරමින් අඛණ්ඩව නව්‍යකරණය සහ සවිබල ගැන්වීම සඳහා අනාගතය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින සිටියි.
පීපල්ස් ලීසිං සමාගම කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ලැයිස්තුගත කර ඇති සීමිතවගකීම් සහිත සමාගමකි. පීපල්ස් ලීසිං සමාගම ට අනුබද්ධිත ආයතන ලෙස පීපල්ස් ලීසිං ෆ්ලට් මැනේජ්මන්ට් ලිමිටඩ් (People's Leasing Fleet Management Limited), පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ලිමිටඩ් (People's Leasing Property Development Limited), පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටීස් ලිමිටඩ් (People's Leasing Havelock Properties Limited), පීපල්ස් මයික්‍රෝ කොමර්ස් ලිමිටඩ් (People's Micro Commerce Limited), පීපල්ස් ඉන්ෂුවරන්ස් (People's Insurance) සහ බංග්ලාදේශයේ එලායන්ස් ෆිනෑන්ස් පීඑල්සී (Alliance Finance PLC), අනුබද්ධිත සමාගම් 6 කින් සමන්විත වේ.