Janashakthi Life කණ්ඩායමේ මානව දයාව තුළින් ලේ දන්දීමේ මෙහෙවරක්

    May, 25, 2026

    ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life විසින් පසුගියදා Excel World හිදී විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. මෙය සංවිධානය කරන ලද්දේ ආයතනයේ ක්‍රීඩා හා සුභසාධක සමාජය විසිනි. වගකීම් සහිත ආයතනයක් ලෙස කාර්ය මණ්ඩලයේ දයාන්විත බව හා සහකම්පනය තුළින් පන්නරය ලබමින් රටට හා සමාජයට වැඩදායක මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට Janashakthi Life සෑම විටම කටයුතු කරයි.

    මෙම ලේ දන්දීමේ වැඩසටහනට Janashakthi Life සහ Janashakthi Finance කාර්ය මණ්ඩලය, මහජනතාව, පොලීසිය සහ රක්ෂණ ක්ෂේත්‍රය නියෝජනය කරමින් පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් සහභාගී වූහ. එහිදී පරිත්‍යාගශීලීන් 65 දෙනෙකු විසින් රුධිරය මිලි ලීටර් 29,000 කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදි. එක් රුධිර ඒකකයක් මඟින් රෝගීන් තිදෙනෙකුගේ පමණ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලිය හැකි අතර මෙමඟින් ජීවිත 200 කට අධික සංඛ්‍යාවක් බේරාගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    “ආයතනයක සැබෑ සාර්ථකත්වය තීරණය වන්නේ ව්‍යාපාරික ප්‍රතිඵල මත පමණක් නොව, ජනතාවගේ ජීවිතවලට යහපතක් සිදුකරන අර්ථවත් ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ හැකියාව මත බව අප විශ්වාස කරනවා. මෙම ලේ දන්දීමේ වැඩසටහන, දයාව හා සමාජ මෙහෙවර සම්බන්ධයෙන් අප සතු මූලික වටිනාකම් තුළින් පන්නරය ලැබූ වැඩසටහනක් ලෙස හැඳින්විය හැකියි. සෞඛ්‍යය හා සමාජ සුභසාධනය සම්බන්ධයෙන් සමාගම්වලට ඉටු කළ හැකි කාර්ය භාරය කෙබඳුද යන්න මෙමඟින් මැනැවින් නිරූපණය වනවා.” Janashakthi Insurance PLC සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසීය.

    රුධිරය යනු කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කළ හැකි දෙයක් නොවේ. එබැවින් ලේ දන්දීම යනු මිනිසුන්ගේ යහපත වෙනුවෙන් මිනිසුන් විසින් සිදුකරනු ලබන මිල කළ නොහැකි පරිත්‍යාගයකි. ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිකාර හා සැත්කම් ආදිය සඳහා අවශ්‍ය රුධිර සැපයුම මුළුමනින්ම සපුරාගනු ලබන්නේ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය තුළිනි. එබැවින් ජාතික සෞඛ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් Janashakthi Life විසින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කරන ලදි.

    “අපගේ කාර්ය මණ්ඩලය මෙන්ම මහජනතාව වෙතින් මේ සම්බන්ධයෙන් විශාල උනන්දුවක් පළවීම අපට මහත් සතුටක්. යහපත සහ එකමුතු බව සම්බන්ධයෙන් අපගේ ආයතනික සංස්කෘතිය තුළදී විශාල අවධානයක් යොමු වෙනවා. මෙවැනි අර්ථවත් වැඩසටහන් වෙනුවෙන් සාමූහිකව කටයුතු කිරීම තුළින් සමාජයට පමණක් නොව ආයතනයටද යහපතක් සිදු වන බවට මෙම වැඩසටහන මනා සාක්ෂියක්.” Janashakthi Insurance PLC සමාගමේ ක්‍රීඩා හා සුභසාධන සමාජයේ සභාපති ශමීන්ද්‍ර දිසානායක මහතා පැවසීය.

    මෙය සමාජය වෙනුවෙන් යුතුකම් ඉටුකරන සමාගමක් ලෙස Janashakthi Life සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කළ ප්‍රජා සත්කාරයකි. එමෙන්ම මෙය අර්ථවත් ප්‍රජා සත්කාර වැඩසටහන් මඟින් ජනතාවට යහපතක් සිදුකරන අතරම ආයතනයක සේවක දායකත්වය දිරිගන්වමින් සන්නාමයේ කීර්තිනාමය තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධ මනා ආදර්ශයක් ලෙසද හැඳින්විය හැකි වේ.