කොළඹ චීන ආධාර සහිත සහනදායී නිවාස ව්‍යාපෘතියේ වැදගත් සන්ධිස්ථානයක් CHEC සමාගම සනිටුහන් කරයි

    May, 27, 2026

    චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) විසින් කොළඹ ක්‍රියාත්මක කරනු ලබන, චීන රජයේ ආධාර සහිත සහනදායී නිවාස ව්‍යාපෘතියේ මහරගම පරිශ්‍රයේ ප්‍රධාන ව්‍යුහය ඉදිකර අවසන් කිරීමේ කටයුතු පසුගියදා  සිදු කෙරුණි. ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. එය සමස්ත නිවාස 1,996 කින් සමන්විත පුළුල් නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් වන අතර, මෙම අදියර අවසානයේදී නිවාස ඒකක 112ක වැඩ කටයුතු සාර්ථකව නිම කරන ලදී.

    චීන රජයේ 'එක් තීරයක් - එක් මාවතක්' යන සංකල්පය යටතේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ, CHEC සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වනුයේ, ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහනදායී නිවාස ලබා දීම සහ නාගරික ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා දායක වීමයි. පොදු ප්‍රජා අවශ්‍යතා සපුරාලන මෙන්ම දිගුකාලීන සමාජ සංවර්ධනයට අත්වැලක් වන යටිතල පහසුකම් සැලසීම වෙනුවෙන් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සහයෝගීතාව මෙම සංවර්ධන කටයුතු මඟින් මනාව පිළිබිඹු වේ.

    මෙම අවස්ථාව සඳහා ව්‍යාපෘති නියෝජිතයින් සහ පාර්ශවකරුවන් රැසක් එක්ව සිටි අතර, එහිදී මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කෙරිණි. ප්‍රධාන අදියර සාර්ථකව නිම කිරීමත් සමඟ, CHEC සමාගම ඉදිරි කාලසීමාවේදී ව්‍යාපෘතියේ කටයුතු අවසන් කර නිවාස අයිතිකරුවන්ට භාරදීම සඳහා වන අභ්‍යන්තර නිමවුම් කටයුතු සිදු කිරීමට නියමිතයි.

    මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ, කළමනාකාර අධ්‍යක්ෂ, වැන්ග් ගැන්ග් මහතා කියා සිටියේ, "මෙම සන්ධිස්ථානය මඟින් පෙන්නුම් කරන්නේ, ප්‍රජාවට අර්ථවත් වටිනාකමක් එක් කරන උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සහ නිවාස ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය වීමට CHEC සමාගම සතු කැපවීමයි. මෙම වැඩසටහන අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නංවාලීමට දායක වනවා. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන මෙවැනි ව්‍යාපෘතියකට දායක වීමට ලැබීම පිළිබඳව අප ආඩම්බර වන බවයි.

    මෙම නිවාස ව්‍යාපෘතිය, ප්‍රජා සංවර්ධනය සහ නාගරික යටිතල පහසුකම් සංවර්ධනය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම චීන අරමුදල් සහිත මුලපිරීම් අතරින් එකකි. මෙම ව්‍යාපෘතිය හරහා CHEC සමාගම, උසස් ප්‍රමිතිය, කාලීන ප්‍රගතිය සහ සාධනීය සමාජ බලපෑම කෙරෙහි අවධානය යොමු කරමින් මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට තමන් සතු සුවිශේෂී හැකියාව නැවත වරක් ප්‍රදර්ශනය කර ඇත.

    ප්‍රධාන ව්‍යුහය ඉදිකර අවසන් කිරීමේ අදියරෙන් ඔබ්බට යමින්, මහරගම පරිශ්‍රයේ සහ සමස්ත නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි අදියරයන් සාර්ථකව නිම කිරීම කෙරෙහි CHEC සමාගම සිය පූර්ණ අවධානය යොමු කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික පවුල් වෙත වඩාත් ආරක්ෂිත, ප්‍රවේශ විය හැකි සහ ගුණාත්මක බවින් ඉහළ ජීවන අවකාශයන් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.