May, 27, 2026
ඩුබායි හි AlfaNow ආයතනය සමඟ නව සබඳතාවයකට එළඹීමට DFCC බැංකුව කටයුතු කර ඇති අතර, එමගින් මැදපෙරදිග කලාපය පුරා සිය මූල්‍ය ප්‍රේෂණ ජාලය ව්‍යාප්ත කිරීමටත්, විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ වැදගත්ම මූල්‍ය ජීවනාලියක් වන විදේශ මූල්‍ය ප්‍රේෂණ ගලා ඒම තවදුරටත් ශක්තිමත් කරයි. බොහෝ පවුල් සඳහා විදේශ මූල්‍ය ප්‍රේෂණ යනු හුදෙක් මූල්‍ය ගනුදෙනුවක් පමණක් නොව, එදිනෙදා වියදම්, අධ්‍යාපනය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා ඉවහල් වන අඛණ්ඩ මූල්‍ය ශක්තියකි.
AlfaNow සමඟ එක්වීම හරහා, විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) වෙසෙන ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත්, ආරක්ෂිත සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි මුදල් හුවමාරු සේවාවන් සැපයීමට DFCC බැංකුවට හැකි වේ. මෙම සබඳතාවය හරහා මුදල් හුවමාරු කිරීමේ කාලය අවම කිරීමටත්, විශ්වසනීයත්වය ඉහළ නැංවීමටත් හැකි වන අතර, එමගින් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මෙරට සිටින තම සමීපතමයන් සමඟ පවතින මූල්‍ය සබඳතාවය වඩාත් සරල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම හවුල්කාරිත්වය නිල වශයෙන් තහවුරු කිරීමේ අවස්ථාව AlfaNow හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී හසන් ජබර් මහතා සහ DFCC බැංකුවේ විදේශ බැංකු කටයුතු, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇන්ටන් ආරුමුගම් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම නව සබඳතාවය පිළිබඳව අදහස් දක්වමින් ඇන්ටන් ආරුමුගම් මහතා මෙසේ පැවසීය: "ප්‍රධාන මූල්‍ය ප්‍රේෂණ ජාලයන් තුළ අපගේ පැවැත්ම ශක්තිමත් කිරීමේ මූලික අරමුණ වන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මෙරට සිටින තම පවුල්වලට සහය වීමට පවතින අවස්ථාවන් වඩාත් පහසු කිරීමයි. විශේෂයෙන්ම මෙම මූල්‍ය ප්‍රේෂණ අතිශයින් වැදගත් වන අවස්ථාවන්හිදී, සෑම මුදල් හුවමාරුවක්ම වේගවත්, ආරක්ෂිත සහ විශ්වසනීය බව තහවුරු කිරීමට අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු."
ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් තවමත් මැදපෙරදිග කලාපයෙන් ලැබෙන බැවින්, සේවාවේ විශ්වසනීයත්වය සහ ප්‍රවේශ වීමේ පහසුව අතිශයින් වැදගත්වේ. මෙවැනි හවුල්කාරිත්වයන් හරහා DFCC බැංකුව සිය දේශසීමා අතර මූල්‍ය හුවමාරු හැකියාවන් තවදුරටත් පුළුල් කරන අතරම, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතාවලට සහය වීමට ද කැපවී සිටියි.