සෙලාන් බැංකුව දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාව නංවමින් 291 වැනි ‘පැහැසර’ පුස්තකාලය අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කරයි

    May, 29, 2026

    සෙලාන් බැංකුව සිය සමාජ තිරසාරත්ව ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 291 ක් වැනි ‘පැහැසර’ පුස්තකාලය 2026 මාර්තු 27 වන දින පදවි පරාක්‍රමපුර අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. ඒ සඳහා පැවති උත්සවයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (කැබිතිගොල්ලෑව) රුවන් මෛත්‍රීපාල, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ (පදවිය), ටී.පී. ජයසිංහ, පදවිය අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කපිල එස්. කුමාර, සෙලාන් බැංකුවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කළමනාකරු ජනන්ද රත්නායක සහ සෙලාන් බැංකුවේ පදවිය ශාඛාවේ ශාඛා කළමනාකරු නීල් නිශාන්ත යන මහත්වරු සහභාගි වූහ.

    පුස්තකාලය විවෘත කිරීමට පෙර සෙලාන් බැංකුව සහ බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය එක් වී පාසල් දරුවන් වෙනුවෙන් ‘පැහැසර සතිය’ නමින් විශේෂ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. වැඩිදියුණු කළ පැහැසර පුස්තකාලය නිල වශයෙන් පාසල වෙත භාරදෙන ලද්දේ ඉන් අනතුරුවය. මෙම ප්‍රජා සත්කාරයේ කොටසක් වශයෙන් සෙලාන් බැංකුව විසින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වටිනා පොත්පත් මෙන්ම පාසලේ ඩිජිටල් අධ්‍යාපන පහසුකම් නැංවීම සඳහා ලැප්ටොප් පරිගණකයක් සහ ස්මාර්ට් පුවරුවක් (Smart Board) ද  පරිත්‍යාග කළේය.

    2026 මාර්තු 24 සහ 26 යන දිනවල පාසලේ 'පැහැසර සතිය' වැඩසටහන පවත්වන ලද අතර, ඉන් අනතුරුව ‘පැහැසර’ පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. දරුවන්ගේ නිර්මාණාත්මක, බුද්ධිමය සහ ක්‍රීඩා කුසලතාවලට මුල්තැන දුන් ‘පැහැසර සතිය’ වැඩසටහනට පාසලේ විවිධ ශ්‍රේණිවල සිසු සිසුවියෝ සහභාගී වූහ. එහි පළමු සැසියට පාසල් ක්‍රිකට් තරගයක් සහ ටිකිරි පොළ වැඩසටහනක් ඇතුළත් විය. දෙවැනි සැසියේදී 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් මූල්‍ය සාක්ෂරතා වැඩමුළුවක් පැවැත්වුණු අතර එහිදී ඔවුන්ට මූල්‍ය කළමනාකරණයේ මූලිකාංග හඳුන්වා දෙන ලදී. මීට අමතරව පාසලේ සිසු සිසුවියන්ට නිර්මාණාත්මක හැඟීම් ප්‍රකාශනයට අවස්ථාව සලසා දීම සඳහා චිත්‍ර තරගයක්ද පවත්වන ලදී.

    “291 වැනි පැහැසර පුස්තකාලය විවෘත කිරීම යනු රට පුරා පැහැසර පුස්තකාල 300 ක් විවෘත කිරීමේ ඉලක්කය කරා අප යන ගමනේ තවත් වැදගත් පියවරක්. ඉදිරියටත් මෙලෙස පාසල් පුස්තකාල අලුත්වැඩියා කිරීම සඳහා අරමුදල් සපයමින්, දරුවන්ගේ දැනුම හා කුසලතා නැංවීමට අවශ්‍ය අධ්‍යාපනික සම්පත් පිරිනැමීමට අප බලාපොරොත්තු වනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.

    ‘පැහැසර සතිය’ පුරාවට එහි ඉසව් සඳහා සිසු සිසුවියෝ ඉමහත් උද්‍යෝගයකින් යුතුව සහභාගී වූහ. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අධ්‍යාපන බලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළුව සියලුම දෙනාගෙන් සුවිශාල සහයෝගයක් ලැබිණි.

    2013 මාර්තු 01 වන දින ආරම්භ වූ සෙලාන් ‘පැහැසර’ පුස්තකාල ව්‍යාපෘතිය, සෙලාන් බැංකුව විසින් ක්‍රියාවට නංවනු ලබන දීර්ඝකාලීන සමාජ තිරසාරත්ව ව්‍යාපෘතියකි. අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා අධ්‍යාපනය මඟින් ඉටු වන කාර්යභාරය හඳුනා ගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී. මෙම වැඩසටහන යටතේ සෙලාන් බැංකුව විසින් දිවයින පුරා පාසල් පුස්තකාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඒවා සඳහා පොත්පත් ඇතුළු පහසුකම් පරිත්‍යාග කිරීම සිදුකෙරේ. මේ වන විට සෙලාන් ‘පැහැසර’ වැඩසටහන පුස්තකාල 300 ඉලක්කය වෙත ළඟා වෙමින් පවතින අතර, එය මෙම පැහැසර ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත. මෙය දැනුම ගොඩනංවමින් සහ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරමින්, රට පුරා ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් සෙලාන් බැංකුව ඉටුකරන තවත් ප්‍රශංසනීය මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි වේ.