අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමට දිවයින පුරා පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් පුළුල් කිරීමට වැඩපිළිවෙලක්

    June, 1, 2026

    ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පවතින ප්‍රධානතම බාධාවක් වන පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් හිඟය මඟහරවා ගැනීම සඳහා දිවයින පුරා එම පහසුකම් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විස්තීර්ණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, පරීක්ෂණාගාර, සහතික කිරීමේ ආයතන සහ අපනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී පවත්වන ලදී.

    ගෝලීය වෙළඳපොළ ජයග්‍රහණය කිරීම සඳහා ගුණාත්මකභාවය, අනුකූලතාවය සහ වේගය අත්‍යවශ්‍ය සාධක වන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.වත්මන් පරීක්ෂණ පහසුකම් බොහෝ දුරට කොළඹ කේන්ද්‍රකරගනිමින් පැවතීම, උතුර, නැගෙනහිර සහ දකුණ වැනි ප්‍රදේශවල අපනයනකරුවන්ට විශාල අභියෝගයක් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

    මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා පරීක්ෂණ පහසුකම් විමධ්‍යගත කිරීමේ ප්‍රධාන පියවර කිහිපයක් හඳුනාගෙන ඇති අතර පළාත් මට්ටමින් පවතින රජයේ විද්‍යාගාර නවීකරණය කිරීම, පවතින නමුත් ප්‍රමාණවත් ලෙස ප්‍රයෝජනයට නොගන්නා (underutilized) පරීක්ෂණ පහසුකම්වල භාවිතය උපරිම කිරීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම සහ ඩිජිටල් ක්‍රමවේද හරහා සහතික කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම ඒ යටතේ සිදු කිරීමට යෝජිතය.

    මීළඟ පියවර ලෙස, අපනයනකරුවන්ගේ පරීක්ෂණ සහ සහතික කිරීමේ අවශ්‍යතා, දැනට පවතින සේවා සපයන්නන්ගේ ධාරිතාවන් සහ උපාය මාර්ග සමඟ සිතියම්ගත (mapping) කරනු ලැබේ. මෙම සොයාගැනීම් මත පදනම්ව, දිවයින පුරා සිටින අපනයනකරුවන්ට වඩාත් ප්‍රායෝගික සහ ඵලදායී විසඳුම් ලබා දීම සඳහා ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ජාතික අපනයන න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා රජයේ නියාමන ආයතන සහ විද්‍යාගාර ජාලයන් සමීප සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතු බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.

    ජායාරූපයේ වමේ සිට:

    • කුමුදුනී මුදලිගේ මහත්මිය - අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන), අපනයන සංවර්ධන මණ්ඩලය.
    • මංගල විජේසිංහ මහතා - සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී, අපනයන සංවර්ධන මණ්ඩලය.
    • ජේ.ඒම්.ආර්.ඒස්.ජයසිංහ මහතා- අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, (මුදල් හා පාලන), අපනයන සංවර්ධන මණ්ඩලය.
    • ආචාර්යය සංජීව රත්නසේකර මහතා- අධ්‍යක්ෂ, වෙළද තොරතුරු සහ වෙළද පහසුකම් අංශය.