මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ලොට් A ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ RS Infraprojects (Pvt) Ltd වෙත

    June, 2, 2026

    මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-02-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ලොට් A සහ ලොට් B වශයෙන් ව්‍යාපෘති 02කින් සමන්විත එම ව්‍යාපෘතියේ ලොට් Bහි ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇත.

    මුල්ලිකුලම් කිලෝවෝල්ට් 220/33 රැස්කිරීමේ ග්‍රිඩ් උපපොළේ ආදාන පැතිකඩ සහ එම ග්‍රිඩ් උපපොළෙහි කිලෝවෝල්ට් 220 රැහැන් බහනු 02ක් ඉදිකිරීම ඇතුළත් වන ලොට් Aහි ඉදිකිරීම් සඳහා ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත.

    එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ RS Infraprojects (Pvt) Ltd වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 6.04ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 499.66ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.