June, 2, 2026
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්රයේ සහ මූල්‍යකරණයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, SDB බැංකුව සහ Hayleys Mobility Limited අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වූ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී. මෙය බැංකුවේ තිරසාර බැංකුකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින්, විධිමත් ප්‍රවාහන මූල්‍යකරණ පහසුකම් පුළුල් කිරීම සඳහා දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරන්නකි. මෙම සහයෝගීතාවය හරහා ආයතන දෙක එක්ව පෞද්ගලික වාහන සඳහා කල්බදු විසඳුම් ලබා දෙන අතර, එහිදී අනාගතවාදී ප්‍රවේශයක් ලෙස විදුලි වාහන (EV) සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත.
මෙම අවබෝධතා ගිවිසුම යුනියන් පෙදෙසේ පිහිටි Hayleys Mobility ප්‍රධාන කාර්යාලයේදී දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අත්සන් කරන ලදී. SDB බැංකුව නියෝජනය කරමින් විධායක අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් අක්මීමන, ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී චිත්‍රාල් ද සිල්වා, කල්බදු අංශ ප්‍රධානී ලහිරු ඒකනායක සහ ව්‍යාපාරික බැංකුකරණ අංශයේ ප්‍රධාන කළමනාකරු තරංග ද සිල්වා යන මහත්වරුන් සහභාගී වූහ. Hayleys Mobility Limited නියෝජනය කරමින් කළමනාකාර අධ්යක්ෂ හසිත ප්‍රේමතිලක, අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න, මූල්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක රත්නායක සහ සහකාර සාමාන්‍යාධිකාරී සුරාජ් චූලරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
ශ්‍රී ලංකාව පුරා පුද්ගලික සහ තිරසාර කල්බදු විසඳුම් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම විදුලි වාහන කල්බදුකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, වෙනස් වන පාරිභෝගික රුචිකත්වයන් හඳුනාගෙන වඩාත් වගකීම් සහගත ප්‍රවාහන ක්‍රම සඳහා පහසු මූල්‍ය විසඳුම් ලබා දීමට SDB බැංකුව මෙහිදී කටයුතු කරයි.
සාම්ප්‍රදායික පෞද්ගලික වාහන මූල්‍යකරණයට අමතරව, වාහනයක් තෝරා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් යන අංග දෙකම එකම සේවාවක් යටතේ වඩාත් පහසුවෙන් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට මෙහිදී අවස්ථාව හිමි වේ. SDB බැංකුවේ සහ Hayleys Mobility ආයතනයේ පුළුල් ජාලය හරහා වෘත්තිකයන්, ස්වයං රැකියාලාභීන්, ව්‍යාපාරිකයන් ඇතුළු දිවයින පුරා සිටින සියලුම පෞද්ගලික වාහන ගැනුම්කරුවන්ට වඩාත් විශ්වසනීය සහ විධිමත් කල්බදු සේවාවක් සැලසීම මෙමගින් බලාපොරොත්තු වේ.
මෙම සහයෝගීතාවය හරහා නැගී එන වෙළෙඳපොළ ප්රවණතා සහ දිගුකාලීන ජාතික ප්‍රමුඛතාවයන්ට අනුකූලව ප්‍රායෝගික මූල්‍ය විසඳුම් ලබා දීමට SDB බැංකුව දක්වන අඛණ්ඩ උත්සාහය පිළිබිඹු වේ. තිරසාර ප්‍රවාහනය වර්තමානයේ පෞද්ගලික මෙන්ම ව්‍යාපාරිකයන් සඳහාද අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති පසුබිමක, විදුලි වාහන භාවිතය දිරිමත් කිරීම සඳහා හඳුන්වා දී ඇති මෙම සුවිශේෂී කල්බදු විසඳුම්, පාරිසරික වගකීම් සමග මූල්‍ය සේවාවන් ඒකාබද්ධ කිරීමේ වැදගත් පියවරකි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ විධායක අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසීය. " Hayleys Mobility ආයතනය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, ප්‍රායෝගික මෙන්ම අනාගතවාදී වාහන මූල්‍යකරණ විසඳුම් පුළුල් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පාරිභෝගික අපේක්ෂාවන් නිරන්තරයෙන් වෙනස් වන අතර, විශේෂයෙන්ම විදුලි වාහන සඳහා පවතින උනන්දුව වර්ධනය වෙමින් පවතිනවා. මෙම සහයෝගීතාවය හරහා විධිමත් කල්බදු පහසුකම් ලබා දෙන අතරම, තිරසාර අනාගතයක් වෙනුවෙන් දායක වීමට අපට අවස්ථාව ලැබෙනවා. එමගින් ශ්‍රී ලංකාව පුරා සිටින අපගේ පාරිභෝගිකයන්ට වඩාත් ඉහළ වටිනාකමක්, පහසුවක් සහ විශ්වාසයක් ලබා දීමට අපි අරමුණු කරමු."
Hayleys Fentons Limited හි කළමනාකාර අධ්යක්ෂ හසිත ප්‍රේමතිලක මහතා අදහස් දක්වමින්, "ශ්‍රී ලාංකිකයන්ට වඩාත් තිරසාර සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා SDB බැංකුව සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. නව බලශක්ති වාහන (NEV) ප්‍රවර්ධනය කරමින් සහ පාරිභෝගිකයන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සරලව ලබා ගැනීමට සැලැස්වීම හරහා මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ අනාගතය යහපත් කිරීම අපගේ පොදු දැක්මයි. නවෝත්පාදන සහ පරිසර හිතකාමී විකල්ප මෙන්ම ශක්තිමත් මූල්‍ය ව්‍යුහයක් සපයමින් මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ නව මාවතක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.
මෙම නවතම හවුල්කාරිත්වය හරහා SDB බැංකුව පාරිභෝගික-කේන්ද්‍රීය බැංකු විසඳුම් ලබා දෙනවා පමණක් නොව, තිරසාර ප්‍රවාහනය, වගකිවයුතු මූල්‍යකරණය සහ දිගුකාලීන ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා කැප වූ මූල්‍ය ආයතනයක් ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගනී.
Video Story