July, 23, 2026
පාරිසරික සුරක්ෂිතතාව යනු නිර්මාණාත්මක ඉදිරිකිරීම් සැලසුමක තිබිය යුතු ප්‍රමුඛතම ලක්ෂණයකි. මිනිසාගේ අවශ්‍යතා නිසි පරිදි සපුරාලන අතරම ජලය, ගස් වැල් හා සතා සිවුපාවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ මෙහිදී ඉතාමත් වැදගත් වේ. ජෙෆ්රි බාවා භාරය මඟින් හඳුන්වා දී ඇති ජෙෆ්රි බාවා Moonamal සම්මානයේ ප්රමුඛ අරමුණ වන්නේද එවන් නිර්මාණ සැලසුම් දිරි ගන්වමින් නිර්මාණකරුවන් තුල නව චින්තනයක් ගොඩනැගීමට කටයුතු කිරීමයි.
සොබා දහම හා මානව ප්‍රජාව අතර සබැඳියාව ඉහළ නංවන නවතම නිර්මාණ ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම Moonamal සම්මානය තුලින් ප්‍රතිනිර්මාණය කරන ලද ස්වභාවික පාරිසරික නිර්මාණ, ජෛව විවිධත්වය ආරක්ෂා කරන යටිතල පහසුම් සහ වගකීම් සහගත ගොඩනැගිලි සැලසුම් වැනි සුවිශේෂී නිර්මාණාත්මක ව්‍යාපෘති ඇගයීමට ලක් කරනු ඇත.
මෙම සම්මානය Moonamal සම්මානය ලෙස නම් කිරීමද මෙහි ඇති තවත් විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. බෙන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති ජෙෆ්රි බාවා ට අයත් ලුණුගඟ උද්‍යානයේ අදටත් විරාජමානව පවතින දේශීය මූනමල් ශාකය සිහිවනු පිණිස සම්මානය සඳහා මෙම නම තබා ඇත. පරිසරයට වඩාත් සමීප එම ගසෙහි නම සම්මානය සඳහා යොදා ගැනීම තුලින් ජෙෆ්රි බාවා භාරය මඟින් සාර්ථක නිර්මාණයක් යනු පරිසරයේ ස්වභාවිකත්වයට හානි නොකරන ව්‍යාපෘතියක් බව පෙන්වා දීමට කටයුතු කර ඇත. ඒ නිසාම Moonamal සම්මානය යම් ස්ථානය පවතින වැදගත්කම සහ එම ස්ථානටයේ අතීත හා වත්මන් පාරිසරික පසුබිම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ලබයි.
මෙම සම්මානය හා එහි විශේෂත්වය පිළිබඳව අදහස් දක්වමින් ජෙෆ්රි බාවා භාරයේ සභාපති චන්න දාස්වත්ත මහතා සඳහන් කර සිටියේ “ මිනිසා සඳහා නිවාස හා අනෙකුත් අවශ්‍යතා නිර්මාණය කිරීමේදී සොබා දහමට මුල් තැන දෙන විකල්ප ක්‍රමවේදයන් භාවිතය සඳහා සමාජයට හඳුන්වා දෙන ජාතික මට්ටමේ වේදිකාවක් ලෙස Moonamal සම්මානය පෙන්වා දිය හැකියි. පරිසර හිතකාමී නිර්මාණකරණය පිළිබඳව අභිමානවත් ඉතිහාසයක් ශ්‍රී ලංකාවට හිමි වන අතර රිටිගල සහ කළුදිය පොකුණ වැනි පැරණි ඓතිහාසික ස්ථානවලින් එය මනාව පිළිබිඹු වනවා. මෙම පැරණි ආදර්ශයන් වර්තමාන ගෝලීය සංකල්ප සමඟ සම්බන්ධ කළ යුතුයි. උදාහරණයක් ලෙස, ගංවතුර වැනි ස්වාභාවික ව්‍යයසන පාලනය කරමින් පරිසරය ආරක්ෂා කරන Sponge cities සංකල්පය සහ මානව යටිතල පහසුකම් මධ්‍යයේ වුවද ජෛව විවිධත්වය සුරකින Wildlife Corridors දැක්විය හැකියි. මෙම සම්මානය හරහා සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ එවැනි නිර්මාණාත්මක උත්සාහයන් හඳුනාගෙන ඒවා ඇගයීමට ලක් කිරීමයි. විවිධ ක්ෂේත්රයන්හි දැනුම එකට එකතු වූ විට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව පෙන්වා දීමට අප මේ තුලින් බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
මෙහිදී ප්‍රධාන අංශ 2ක් යටතේ Moonamal සම්මානය සඳහා අයදුම් කිරීමේ හැකියාව නිර්මාණකරුවන් වෙත උදා කර දී තිබේ. ඒ නිර්මාණ පරිසරව (Built Environment) සහ රාජ්‍ය ප්‍රතිපත්ති (Public Policy) යි. නිර්මිත පරිසර අංශය සඳහා ගෘහ නිර්මාණ ශිල්පය, යටිතල පහසුකම්, නාගරික සැලසුම් සහ පාරිසරික නිර්මාණ ඇතුළත් වන අතර රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා පරිසර හිතකාමී නිර්මාණකරණය සහ ඉදිකිරීම් දිරිමත් කරන හෝ ඒ සඳහා මඟ පාදන විධිමත් රාජ්‍ය ප්‍රතිපත්ති හා නීරි රීති ඇයීමට ලක් කරනු ලබයි.
සාම්ප්‍රදායික තිරසාර ඉදිකිරීම් ක්‍රමවේදයන් දැනට පවතින සංකීර්ණ පාරිසරික ගැටලුවලට විසඳුම් සෙවීමට ප්‍රමාණවත් නොවන බැවින්, Moonamal සම්මානය සඳහා නිර්මාණ ඇගයීමට ලක් කෙරෙන ප්‍රධාන මූලධර්ම 4ක් හඳුන්වා දී ඇත. ඒවා නම් පාරිසරික සමානාත්මතාවය, හානි ප්‍රතිසංස්කරණය, ස්වභාවික පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම හා සාමූහික සහයෝගීතාවයයි.
මෙම සම්මානය හරහා ජාත්‍යන්තර පාරිසරික කතිකාවතක් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමටත් දකුණු අර්ධගෝලයේ රටවලට ගැලපෙන ප්‍රායෝගික දේශගුණික විසඳුම් දිරිමත් කිරීමටත් බලාපොරොත්තු වේ. 2026 අගෝස්තු මාසයේදී මෙම සම්මානය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වන අතර, පසුගිය වසර 10 තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සඳහා හෝ අවම වශයෙන් වසරක් ගත වී ඇති ව්‍යාපෘති සඳහා ඊට අයදුම් කිරීමේ හැකියාව උදා වේ. 2027 මැද භාගයේදී Moonamal සම්මානයේ ජයග්රාහි නිර්මාණය හා නිර්මාණකරුවා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Video Story