July, 24, 2026
ආයෝජක සහභාගීත්වය පුළුල් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස, කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ එක්ව 'සැමට කොටසක්, සැමට ඒකකයක්' වැඩසටහන මෙම සතියේ පවත්වනු ලැබූ මොණරාගල සහ මඩකලපුව ආයෝජන සම්මන්ත්‍රණවලදී දියත් කරන ලදී.
මෙම ආයෝජන සම්මන්ත්රණ ජූලි 16 වන දින මොණරාගල සිලන්රිච් හෝටලයේදී සහ ජූලි 18 වන දින මඩකලපුව එෆ්ජී ගෝල්ඩන් රිවර් හෝටලයේදී පවත්වන ලදී. මෙම ස්ථාන දෙකෙහිදීම පැවැත්වුණු සම්මන්ත්රණ සඳහා 500 කට අධික පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා විසින් නිර්මාණය කරන ලද 'සැමට කොටසක්, සැමට ඒකකයක්' සංකල්පයේ අරමුණ වන්නේ, සැමට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සාධාරණ, කාර්යක්ෂම, විධිමත් මෙන්ම පාරදෘශ්‍ය ප්‍රාග්ධන වෙළඳපොළක් තුළින් ධනය සහ වටිනාකම් නිර්මාණය කිරීම සඳහා වූ පොදු කැපවීම ප්‍රවර්ධනය කිරීමයි.
මෙම වැඩසටහන යටතේ, ආයෝජක අධ්‍යාපනය සහ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙන්ම බස්නාහිර පළාතෙන් ඔබ්බට ආයෝජක සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC )සහ කොළඹ කොටස් හුවමාරුව CSE විසින් දිවයින පුරා ආයෝජන සම්මන්ත්රණ පවත්වනු ඇත. කොළඹ කොටස් හුවමාරුවේ රට පුරා ව්‍යාප්තව පවතින ශාඛා ජාලය සහ කොටස් වෙළඳපොළ කෙරෙහි ඇති වෙමින් පවතින උනන්දුව උපයෝගී කරගනිමින්, කොටස් තැරැව්කාර සමාගම් සහ ඒකක භාර කළමනාකරණ සමාගම් යන අංශ හරහා මෙරට ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට ආයෝජකයින්ට වැඩි ඉඩකඩක් මෙම වැඩසටහන මඟින් සපයනු ඇත. තවද, මෙම වැඩසටහනට සහභාගී වන්නන් හට SEC සහ CSE අනුග්‍රහයෙන් ලබාදෙන ආයෝජන කූපන්පත් ලබා ගැනීමටද අවස්ථාව හිමිවන අතර, ඒවා ඔවුන්ගේ කොටස් ආයෝජන වෙනුවෙන් භාවිත කළ හැක.
මෙම ආයෝජන සම්මන්ත්රණ ආරම්භයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් වන එන්. බී. ජනගන් මහතා සහ කසුන්ක හේරත් මහතා විසින් ඉදිරිපත් කිරීම් සිදු කළ අතර, එහිදී රටේ සාර්ව ආර්ථික තත්ත්වය පිළිබඳ සමස්ත සමාලෝචනයක් ඉදිරිපත් කරන ලදී.
තවද, ෆර්ස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් පීඑල්සී ආයතනික මූල්‍ය සහ උපදේශන උප සභාපති අච්චුතන් ශ්‍රී රංගන් මහතා සහ එච්එන්බී ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්ගලික) සමාගමේ අලෙවි අධ්යක්ෂ කපිල පතිරගේ මහතා ඇතුළු ප්රමුඛ කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයින් විසින්ද ඉදිරිපත් කිරීම් සිදු කරන ලද අතර, එහිදී ප්‍රාග්ධන වෙළඳපොළ සහ එහි ඇති ආයෝජන අවස්ථා පිළිබඳ අවබෝධයක් සහභාගී වූවන් වෙත ලබා දෙන ලදී.
ඒකක භාර ක්ෂේත්රයේ නියෝජිතයින් විසින් ඒකක භාරවල ක්‍රියාකාරීත්වය සහ එහි ප්රතිලාභ පිළිබඳව හැඳින්වීමේ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මෙහිදී සොෆ්ට්ලොජික් ඇසට් මැනේජ්මන්ට් (පුද්ගලික) සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු කුමුදු කැකිරිදෙනිය මහතා සහ එම සමාගමේ ව්‍යාපාර සංවර්ධන නිලධාරී මොහොමඩ් අෂ්ෆර් මහතා විසින් ඒකක භාර ආයෝජනවල මූලික කරුණු පිළිබඳව සහභාගී වූවන් වෙත පැහැදිලි කරන ලදී.
විශේෂ විද්වත් සාකච්ඡාවක් සහ ප්‍රශ්නෝත්තර සැසියක් පවත්වමින් මෙම සම්මන්ත්රණ ද්විත්වය නිමා විය. එහිදී කථිකයින් මෙන්ම SEC හා CSE නිලධාරීන් එක්ව මෙරට කොටස් වෙළෙඳපොළ පිළිබඳව විවිධ අදහස් හා මතයන් සාකච්ඡා කරන ලදී. මේ සඳහා සම්මන්ත්‍රණයන්ට සහභාගී වූ කථිකයින්ට අමතරව කොළඹ කොටස් හුවමාරුවේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා, SEC බාහිර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ෂීනා ගුණරත්න මහත්මිය සහ SEC බාහිර සබඳතා කළමනාකරු නිමල් කුමාරසිංහ මහතා ද විද්වත් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස එක්වූහ.
මෙම ආයෝජන සම්මන්ත්රණ අතරතුර, ආයෝජනයට උනන්දුවක් දක්වන පිරිස් වෙත කොටස් තැරැව්කාර සමාගම් සහ ඒකක භාර නියෝජිතයින් හමුවී ගිණුම් විවෘත කිරීමට අවස්ථාව හිමිවූ අතර, එහිදී ප්‍රථමයෙන් සහභාගී වූ 400 දෙනා SEC සහ CSE මඟින් පිරිනමන ලද ආයෝජන කූපන්පත් ලබා ගැනීමට සුදුසුකම් ලැබූහ.
2020 මැයි මාසයේ ඒකක 4,846ක් ලෙස පැවති සියලු කොටස් මිල දර්ශකය 2026 මැයි මස අවසානය වන විට ඒකක 22,310.80ක් දක්වා ඉහළ යමින්, ප්‍රාග්ධන වෙළඳපොළ වසර හයක් පුරා වාර්තා කළ සුවිශේෂී වර්ධනය මධ්‍යයේ මෙම සම්මන්ත්රණ පවත්වන ලදී. මෙය 360%ක වර්ධනයක් වන අතර ආසන්න වශයෙන් 28.98%ක සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතිකයකි. එමෙන්ම ප්‍රාග්ධන ලාභ තවදුරටත් බද්දෙන් නිදහස්ව පවතී.

මඩකලපුව ආයෝජන සම්මන්ත්‍රණයේ විද්වත් සාකච්ඡා මණ්ඩලයේ සාමාජිකයින් (වමේ සිට දකුණට): ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනික මූල්‍ය සහ උපදේශන උප සභාපති අච්චුතන් ශ්‍රීරංගන් මහතා, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බාහිර සබඳතා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ෂීනා ගුණරත්න මහත්මිය, කොළඹ කොටස් හුවමාරුවේ මහනුවර ශාඛා කළමනාකාර ධනංජය අබේසිරිවර්ධන මහතා, සොෆ්ට්ලොජික් ඇසට් මැනේජ්මන්ට් ආයතනයේ ව්‍යාපාර සංවර්ධන නිලධාරී මොහොමඩ් අෂ්ෆර් මහතා

එච්එන්බී ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්ගලික) සමාගමේ අලෙවි අධ්යක්ෂ කපිල පතිරගේ මහතා කොටස් වෙළෙඳපොළ සහ වෙළෙඳපොළ ප්රවණතා පිළිබඳ හැඳින්වීමක් ඉදිරිපත් කරමින්

ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හී ආයතනික මූල්‍ය සහ උපදේශන උප සභාපති අච්චුතන් ශ්‍රීරංගන් මහතා කොටස් වෙළෙඳපොළ සහ වෙළෙඳපොළ ප්රවණතා පිළිබඳ හැඳින්වීමක් ඉදිරිපත් කරමින්

සොෆ්ට්ලොජික් ඇසට් මැනේජ්මන්ට් (පුද්ගලික) සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර කුමුදු කැකිරිදෙනිය මහතා මොණරාගල ආයෝජකයින් වෙනුවෙන් ඒකක භාර ආයෝජනය කිරීම පිළිබඳ හැඳින්වීමක් සිදු කරමින්

සොෆ්ට්ලොජික් ඇසට් මැනේජ්මන්ට් ආයතනයේ ව්‍යාපාර සංවර්ධන නිලධාරී මොහොමඩ් අෂ්ෆර් මහතා මඩකලපුව ආයෝජකයින් වෙනුවෙන් ඒකක භාර ආයෝජනය කිරීම පිළිබඳ හැඳින්වීමක් සිදු කරමින්

මඩකලපුව ආයෝජන සම්මන්ත්‍රණයට සහභාගී වූ මහජනතාව

ආයෝජන සම්මන්ත්‍රණයේ ප්‍රශ්නෝත්තර සැසියට සක්‍රියව එකතු වූ මහජනතාව


මොණරාගල සහ මඩකලපුව ආයෝජන සම්මන්ත්‍රණවලදී ඒකක භාර සහ කොටස් තැරැව්කාර නියෝජිතයින් හමු වී සාකච්ඡා කරන මහජනතාව

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ලබා දෙන ආයෝජන කූපන්පත් දිනා ගැනීමේ අවස්ථාව සඳහා ලියාපදිංචි වන මහජනතාව
ඡායාරූප විස්තරය - මොණරාගල ආයෝජන සම්මන්ත්‍රණයේ විද්වත් සාකච්ඡා මණ්ඩලයේ සාමාජිකයින් (වමේ සිට දකුණට): සොෆ්ට්ලොජික් ඇසට් මැනේජ්මන්ට් (පුද්ගලික) සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු කුමුදු කැකිරිදෙනිය මහතා, එච්එන්බී ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්ගලික) සමාගමේ අලෙවි අධ්යක්ෂ කපිල පතිරගේ මහතා, කොළඹ කොටස් හුවමාරුවේ අලෙවිකරණ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා; ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බාහිර සබඳතා කළමනාකරු නිමල් කුමාරසිංහ මහතා
Video Story