2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී INSEE සමාගම අඛණ්ඩව දෙවන වරටත් විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලබයි

    July, 31, 2026

    ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා මෙන්ම වෙළඳපොළ ප්‍රමුඛයා වන, INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ට හිමිකම් කියන INSEE Lanka සමාගම, 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය. 2026 ජූලි 10 සහ 11 යන දිනවල කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම සම්මාන උළෙල, ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් සංවිධානය කරන ලද 14වන World Construction Symposium වැඩසටහනට සමගාමීව පවත්වන ලදී.

    මෙම ඇගයීම, පසුගිය වසරේ පැවැති CIOB තිරසර සම්මාන උළෙලේදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ INSEE සමාගම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයන් තවදුරටත් තහවුරු කිරීමකි.

    සියලුම මෙහෙයුම් කටයුතු තිරසරභාවය මූලික කරගනිමින් සිදු කිරීමට දක්වන දැඩි කැපවීම පෙන්නුම් කරමින් INSEE සමාගම මෙම වසරේදිත් අඛණ්ඩව දෙවන වරට 'වසරේ තිරසර සංවිධානය' ලෙස සම්මානයට පාත්‍ර විය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය සහ පරිසර හිතකාමී සිමෙන්ති විසඳුම ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, සමාගමේ ප්‍රධාන සන්නාමය වන 'INSEE සංස්ථා සිමෙන්ති' ද අඛණ්ඩව දෙවන වරටත් 'වසරේ තිරසර සිමෙන්ති සන්නාමය' ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

    ඊට අමතරව, නවෝත්පාදනය උදෙසා පිරිනමන තවත් සුවිශේෂී සම්මාන දෙකක් ද INSEE සමාගම වෙත හිමි විය. එනම්, කාර්යක්ෂමතාව සහ සම්පත් කළමනාකරණය ඉහළ නංවන 'Mass Pouring Solution' තාක්ෂණය සඳහා 'තිරසර තාක්ෂණ විසඳුම් සපයන්නා' සම්මානය සහ පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් හඳුන්වා දුන්, 'INSEE Micro Concrete' නිෂ්පාදනය සඳහා හිමි වූ 'තිරසර හරිත ද්‍රව්‍ය නවෝත්පාදන’ යන සම්මාන ද්විත්වයයි.

    මෙම ඇගයීම් මඟින් නවෝත්පාදනය, පරිසර ආරක්ෂණය සහ පාරිභෝගික වටිනාකම කෙරෙහි INSEE සමාගමේ ඇති කැපවීම මැනවින් පිළිඹිඹු වන අතර, තිරසර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සමාගම සතු ස්ථානය ද තවදුරටත් තහවුරු කරන්නට සමත් විය.

    INSEE ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා මෙම ජයග්‍රහණයන් පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. "මෙම සම්මාන INSEE සමාගමේ Build for life යන අරමුණ මැනවින් තහවුරු කරන ජයග්‍රහණයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. තිරසරභාවය යනු අපගේ මෙහෙයුම් කටයුතු, නවෝත්පාදන සහ පාර්ශවකරුවන්ට ලබාදෙන වටිනාකම්වල ප්‍රධාන පදනමයි. අඛණ්ඩව වසර දෙකක් මෙලෙස සම්මාන රැසක් දිනාගැනීමෙන් පැහැදිලි වන්නේ, වගකීම් සහගත බවින් යුතුව විශිෂ්ටතම කාර්යක්ෂමතාවක් ලබාදෙන අතරම පුරෝගාමී විසඳුම් ඉදිරිපත් කිරීමට අප සතුව ඇති කැපවීමයි.”

    තිරසර ඉදිකිරීම් ක්ෂේත්‍රයට අඛණ්ඩව නව මිනුම්දඬු හඳුන්වා දෙමින්, INSEE සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනය, තිරසරභාවය සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් අනභිබවනීය සමාගමක් ලෙස නිරතුරුවම පෙනී සිටියි.